Wednesday, January 4, 2017

ඇස් දෙකක්, සහෝදරියක් සහ දේදුන්නක්! (ජීවිත සිනමාව)

(රිවිර සිනමා කොලම- 13)


සෑම උදෑසනකම පාසැල් යාම සඳහා සිය කුඩා නිවසින් පිටතට එන පාරි සහ චෝටු කාසියේ වාසිය උරගා බලති. පාරි ජය ලැබුවහොත් පාසැල කරා ඇවිද යන තුරුම ඇය සිය සිනමා වීරයා වන ශාරුක් ඛාන්ගේ චිත්‍ර‍පට කතාවක් චෝටු වෙත කියනු ඇත. ඒ චෝටුගේ වාරය නම් ඔහු තෝරාගනු ඇත්තේ ඔහුගේ සිනමා වීරයා වන සල්මන් ඛාන් රඟන චිත්‍ර‍පටයක කතාවකි. ශාරුක් සහ සල්මාන් ඛාන් දෙපළ අප ද හඳුනන තිර තරු වුවත් ඔවුන්ට ආකර්ෂණය වී ඇති පාරි සහ චෝටු අප හඳුනාගන්නේ ‘ධනක්‘ (දේදුන්න) නමැති සිනමා සිතුවම ඉදිරියට ඇදීයත් ම ය. පාරි දස හැවිරිදි හුරුබුහුටි දැරියකි. චෝටු ඇයගේ අට හැවිරිදි කුඩා සොහොයුරා ය. ඉන්දියාවේ රාජස්ථානයේ ඈත පිටිසර ගම්මානයක සිය මාමාත් නැන්දාත් සමග දිවි ගෙවන, දෙමාපියන් අහිමි, මේ දරුවන් වෙත අපගේ වෙසෙසි අවධානය යොමුවන ප්‍ර‍මුඛ කරුණ චෝටුගේ දෙනෙත නොපෙනීමයි.

ශාරුක් ඛාන්, සල්මන් ඛාන් ඇතුළු සුපිරි බොලිවුඩ් තාරකා ඉන්දියාව මතු නොව අප රට තුළත්, අඩු වැඩි වශයෙන් බොලිවුඩ් සිනමාවට ආකර්ෂණය වූ ලෝකය පුරාමත් ප්‍රේක්ෂක මනසෙහි වීරයන්ව වැජඹෙති. ඒ තාරකා මේඝයෙන් වැසී ගිය ලෝකය තුළ බොහෝ විට සාමාන්‍ය මිනිස් ජීවිතය ප්‍රේක්ෂකයාට දුරස් වනු හඳුනාගත හැකි ය. සියලු දුක්ඛ දෝමනස්සයන් තිරයේ සරන සුපිරි වීරයෙකු, සුපිරි පෙම්වතකු විසින් ජය ගනු ලබන කල්හි සතුටින් ඔල්වර නගන හෝ තුටු කදුළු හෙළන ප්‍රේක්ෂාගාරය පියවර කිහිපයකට නුදුරින්, සිනමා ශාලාවට පසුපසින් හමුවන තත්‍ය ලෝකය මනසින් දුරස්කොට තබති. ‘ධනක්‘ සිනමා තිරය වෙත කැඳවාගෙන එන්නේ ඒ දුරස්කොට ඇති තත්‍ය ලෝකයේ අනේක ජීවිත අතුරින් කිහිපයකි.

2016 වසරේ ජූනි මාසයේ මුල්වරට සිනමා ශාලාවලට පැමිණි ‘ධනක්‘, 65 වන බර්ලින් සිනමා උළෙලේ දී හොඳම ළමා චිත්‍ර‍පටයට හිමි ‘පළිඟු වලසා -ග්‍රෑන්ඩ් ප්‍රික්ස්‘ සම්මානය ද, පෝලන්තයේ ‘සිනමා ඉන් ස්නීකරස්‘ සිනමා උළෙලේ ප්‍ර‍ධාන අංශයේ හොඳම චිත්‍ර‍පටයට හිමි සම්මානය ද, මොන්ට්‍රියෙල් ජාත්‍යන්තර ළමා චිත්‍ර‍පට උළෙලේ හොඳම චිත්‍ර‍පටයට හිමි සම්මානය ද දිනාගෙන ඇත. එහි අධ්‍යක්ෂවරයා නාගේෂ් කුකුනූර් ය. රසායන ඉංජිනේරුවරයෙකු ලෙස වෘත්තිය ජීවිතය අරඹන ඔහු 1988 දී සිනමා නිර්මාණකරණයට පිවිසෙන අතර වර්තමානයේ ඉන්දීය සමාන්තර සිනමාව තුළ ඇගයුමට පාත්‍ර‍ව සිටින සිනමාකරුවෙකි.

කුඩා කළ අහිමි වී ගිය චෝටුගේ පෙනීම යළි ඔහු වෙත උරුම කර දීම, සොහොයුරිය, මිතුරිය මතු නොව, ඔහුගේ මග පෙන්වන්නිය ද වන පාරිගේ සිහිනයයි. තවත් මාස කිහිපයකින් උදාවන සොහොයුරාගේ නව වන උපන්දිනය වන විට පෙනීම යළි ඔහු වෙත ලබා දෙන බවට ඇය පොරොන්දු වී ඇත. එවිට නැන්දාගේ ඇස් වසා රාත්‍රියේ හොර රහසේ මාමාත් සමග ඔවුන් දෙදෙන ගොස් නරඹන චිත්‍ර‍පටවල රූප සැබවින්ම චෝටුට දැකගන්නට ලැබෙනු ඇත. නෙත් අඳ වන්නට පෙර අවසන්වර ඔහු දුටු සල්මන් ඛාන්ගේ වික්‍ර‍මයන් යළි ඔහු අත්දකිනු ඇත.



Road Movie නැතිනම් ‘මංපෙත් සිනමා‘ ශානරයට අයත් ‘ධනක්‘ ඒ ලක්ෂණ ඇති පුවතක් බවට හැරෙන්නේ පාරිට හදිසියේම ‘ඇස් දන් දීම‘ සඳහා ආරාධනා කෙරෙන පෝස්ටරයක් මුණගැසීමෙනි. එ් ආරාධනය රැගෙන එහි හමුවන්නේ ඇගේ සිනමා තරුව වන ශාරුක් ඛාන් ය. සිය සොහොයුරාගේ නෙත් යළි ලබා දීමට ශාරුක් උදව් දෙනු ඇතැයි විශ්වාස කරන පාරි දිගින් දිගටම ඔහු වෙත ලිපි ලියන අතර හදිසියේම ඔහු රඟන චිත්‍ර‍පටයක් රාජස්ථානයේ තවත් ගම්මානයක රූගත කරන බව අසා සොයුරා සමග ඔහු වෙත යාමට තීරණය කරයි. සිය පාසැල් ජීවිතය ද උදුරාගත් නපුරු නැන්දාටත්, ඇයගේ දොස් දරාගනිමින් ඔවුන්ට ආදරය කරන මාමාටත් නොදන්වා, චෝටු ද කැටුව පාරි යන දිගු, දුෂ්කර ගමන, ජීවිතය පිළිබද අනේක අත්දැකීම් ඔවුන්ට ලබා දෙන ‘පාඩම් පොතක්‘ නිර්මාණය කර දේ.

දරුවන්ට ආදරය කරන සුන්දර මිනිසුන්, දරුවන් විකුණන්නට බලා සිටින රැවටිලිකරුවන්, සුන්දර විදේශිකයින්, මායාකාර ස්ව්දේශිකයින්, ගීතය හා නැටුම සමගින් සංස්කෘතික ජීවිතය මුණගස්වන රාජස්ථාන වැසියන් හා කුඩා දරුවන් මුණගැසෙමින් කිලෝ මීටර තුන්සියයක් ගෙවා ෂාරුක් ඛාන් සිනමා පටය තනන ගම්මානයට යන පාරිට හා චෝටුට හමුවන බොහෝ දෙනා ද ශාරුක්ගේ රසිකයින් බව වැටහේ. කෙසේ නමුත්, ඔවුන් අදාල ඉසව්වට ළඟා වන විට ශාරුක් පිටව ගොස් ඇති අතර ඔහුගේ පා සළකුණ පවා දේවත්වයෙන් වැළදගන්නා උන්මන්තක රසික ප්‍ර‍ජාවක් පමණක් ඔවුන්ට මුණ ගැසේ. ඔහුගේ ඊළග රූගත කිරීමේ ඉසව්ව ද යළි කිලෝ මීටර සියගණනක දුරින් වුවත් අසළ වන කාන්තාරය හරහා යාමෙන් කෙටි මගකින් එහි ළඟා විය හැකි බව අයෙකු පාරිට පවසයි.

කාන්තාරය හරහා දුෂ්කර පාගමනකට පිවිසෙන පාරි සහ චෝටුගේ ගමනාන්තය විමසා බලනු පිණිස චිත්‍ර‍පටය සොයා යන්නැයි මම ඔබට ආරාධනා කරමි. ඒ සඳහා අන්තර්ජාලය ඔබට උදව් දෙනු ඇත. එතෙක්, හදිසියේ මග හමුවූ සුන්දර විදේශික සංචාරකයකු සමග එක්ව, සාම්ප්‍ර‍දායික රාජස්ථාන් සංගීතය හා බටහිර සංගීතය සමපාත කරමින් කුඩා චෝටු ගයන ගීයක පද කිහිපයක් මෙහි තබමි.


“සැවොම කතා කරති ලෝක සාමය ගැන...
එහෙත් අප දකින්නේ වේදනාව සහ කදුළයි...
අපට යුද්ධය අවැසි නැත...
සටන් අවැසි නැත...
තුවක්කු සහ බෝම්බ හෝ කිණිසි මිට මෙළවූ
අත් ද අවැසි නැත...
මා ඉල්ලන්නේ එකම එක දෙයකි...
අපි ආදරයට වරමක් දෙමු...!“


-ප්‍රියන්ත ෆොන්සේකා - 

1 comment:

  1. අවසානය නම් ටිපිකල් හින්දි චිත්‍රපටයක් විදියම තමයි.

    දේව මෑණියන් සහ අනුගාමික සීන් එක තමයි මට නම් හොඳම කෑල්ල!

    ReplyDelete