Wednesday, October 24, 2018

දරුවන් තරු වෙත දැක්කීම හා සෞන්දර්ය අධ්‍යාපනය


(2018 ඔක්තෝබර් 21 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

“ නෙත් යුග රන් තරු යුවළ තමයි... තොල් පෙති නාදළුවලට සමයි...
මගෙ හද ඔබෙ සුව යහන තමයි... ඔබ සොයනා කළු කෙල්ල මමයි...“

වයස අවුරුදු 8 නොඉක්මවූ කුඩා බුහුටි දැරියක් ගීතය තාලය අනුව නැලවෙමින් වේදිකාවේ සිට ගායනා කරන්නී ය. නෙතින් ගලා හැලෙන්නට ආසන්න කඳුළු පිරි දෙනෙතින් යුතු දැරියගේ මවත්, ඇය අසළ ඇයගේ අත අල්ලාගෙන සිය දියණියගේ ‘දක්ෂතා‘ දෙස බලා සිටින දැරියගේ පියාත් කැමරාකරුගේ සමීප රූපයට හසුවෙයි. ගීතයේ තාලය අනුව හිස සොලවමින්, ඉඳහිට ඇය අගයන ඉංගිත දක්වමින්, සිනාවලින් මුව සරසාගෙන සිටින විනිශ්චය මණ්ඩලයේ සමීප රූප වමේ සිට දකුණට දිවෙන රූපය තුළට එක් වන්නේ ඉන් අනතුරුව ය. මේ, සති අන්තයේ අපේ ආලින්දයට පැන ‘දරු සුරතල්‘ විකුණන ‘ළමා රියැලිටියක‘ එක් අවස්ථාවකි.

දරුවන් ගයන ගීතයේ වචනාර්ථ පිළිබඳ කිසිදු වග විභාගයකින් තොරව ‘රියැලිටි‘ අම්මලා තාත්තලා සිය දියණිය, පුතු වේදිකාවේ උස් තලය මතට යවති. දරුවා ගයන ගීතාර්ථය ගැන හොඳ අවබෝධයක් ඇති, විශ්වවිද්‍යාල කථිකාචාර්ය ටයිටලය ද සහිත විනිශ්චය මණ්ඩලය, ඒ පිළිබඳ කිසිදු විමසිල්ලක් නොකොට, ගායනයේ හඬ උස් පහත්වීම් හා රිද්ම රටාවල ‘සුළු සුළු අඩුපාඩු‘ ගායනයෙන් අනතුරුව සත්වැනි හෝ අටවැනි වියැති දරුවාට පහදා දෙති! සියල්ලටම හිස පහත් කරමින්, ‘ස්තුතියි ටීචර්... ස්තුතියි සර්!‘ පවසන කුඩා දරුවා අනතුරුව වේදිකාවට ගොඩවන නිවේදක අයියාට හා අක්කාට තුරුළු වී, තමන්ට එස්එම්එස් එවිය යුතු අංකය ඇඟිලි නමමින් ප්‍රේක්ෂාගාරයට පෙන්වයි.

“මාව ඉස්සරහට යවන්න නම් අහවල් අකුරු කොටා, අහවල් අංකයට හැකිතා...ක් එස්එම්එස් එවන්න!!“

සැබවින්ම එස්එම්එස් හැකිතාක් යවමින්, රූපවාහිනී තිරය ඉදිරිපිට හිඳ ‘දරු සුරතල් දැක‘ කදුළු සලමින්, පුරවැසි ප්‍රජාවක් ලෙස අප මේ දරුවන් යවමින් සිටින්නේ කුමන ඉදිරියකට ද?

කලාව වඩා හරවත් ලෙස භාවිතයට කැඳවීම හා ඒ සේවනය කිරීම දියුණු පුරවැසි ප්‍රජාවක් සහිත රටක හමුවිය හැකි සහ හමුවිය යුතු තෘප්තකර තත්වයකි. චිත්‍රය, සංගීතය, නර්තනය, රංගය, චිත්‍රපටය ආදී නන්විධ කලා ප්‍රවර්ගයන් සමග දියුණු ගනුදෙණුවක් පවත්වා ගනිමින්, උසස් රසවින්දනයක් සමග, එහි සමාජ භාවිතය වටහා ගැනීමත් ඒ තවත් දියුණු අඩවි කරා කැඳවා යමින් ඉදිරි පරම්පරාවන් වෙත ඉහළතම කලා රස වින්දනයක් දායාද කිරීමත් රටක සමස්ථ පුරවැසි සමාජයේ වගකීමකි. එය එස්එම්එස් යවමින් සිදු කළ හැකි අංක කෙටීමක් නොවේ. වේදිකාවල නොදරුවන්, කිසිදු අයුරකින් නොගැලපෙන ගීතවලට නටවමින් ඔවුන්ට ලකුණු දමා කළ හැකි යමක් ද නොවේ. අනවරත, දියුණු කලා භාවිතයක් හරහා සිදු කළ යුත්තකි. නාලිකා හා වෙළඳ සමාගම්වලට භාර නොදී පුරවැසි සමාජ භාවිතය වෙත තබා සිදු කළ යුත්තකි. වඩා සුපෝෂිත සෞන්දර්ය අධ්‍යාපනයක් ඔස්සේ යමින් සිදු කළ යුත්තකි.

කුඩා දරුවන් රියැලිටි වේදිකාවල නටවන ගයවන රියැලිටි තරග වැඩිහිටි රියැලිටි තරග තරම්ම ලොව සුලභ නැත. බොහෝ රටවල් දරුවන් සම්බන්ධ ක්‍රියාකාරකම්වලදී දක්වන තියුණු සංවේදීතාව එයට මූලික හේතුවයි. සිය අනාගත පරපුර විෂයයෙහි ඔවුන් දැඩිව විමසා බලන ආචාරධාර්මික මැදිහත්වීම දෙවැනි ප්‍රමුඛ හේතුවයි. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන්හිදී දරුවන් භාවිතයට ගෙන වෙළඳ ප්‍රවර්ධනය බොහෝ රටවල දැඩිව පාලනය කළ හෝ සීමා කළ කලාපයකි. ස්වකීය ජීවන අවශ්‍යතා පිළිබඳ තනිව තීරණ ගැනීමට නොහැකි වයසවල පසුවන දරුවන් සිනමා හෝ ටෙලි තිර අවකාශවල රැඳවීමෙහි දී සැලකිල්ලට ගත යුතු, ළමා අයිතීන් ගණනාවක් විශ්ව මට්ටමින් සාකච්ඡාවට ගෙන හා භාවිතයට කැඳවා ඇත. අප, පාසැල් අධ්‍යාපන කලාපය මතු නොව විශ්වවිද්‍යාල අධ්‍යාපනය කලාපය ද එකමුතුව, නිර්ලජ්ජිතව එස්එම්එස් ඉල්ලමින් සිටින්නේ ඒ නොසලකා හැර, අමු අමුවේ උල්ලංඝණය කරමින් සිටින ළමා අයිතිවාසිකම් හා ආචාර ධර්ම හා එකඟ වන ලෙස ය.

සෘජුව, දරුවන්ගේ අයිතීන් හා ආචාර ධර්ම නැසීමෙන් අප නැවතී නැත. කලා භාවිතය, එනම් ගායනය, නර්තනය, හා රංගනය යනු හුදු තරග ඉලක්කයන් බව අපි කොන්දේසිවලින් තොරව දරුවන්ගේ හිස් තුළට පොම්ප කරමින් සිටිමු. පහ වසර ශිෂ්‍යත්වය ගැන සිතන්නටත් පෙර සිට එහි තරග මානසිකත්වය දරුවන් තුළට පොවා ඔවුන්ගේ නිර්මාණශීලි චින්තනයත්, නිදහසත් මොට කර දමන අපි, දැන්, නාලිකා හා වෙළඳ සමාගම් හා එක්ව, සමගාමීව කලාව පිළිබඳ විශ්ව ව්‍යාප්ත අදහස් සමුදායත් දරුවන්ගෙන් දුරස් කර දමමින් සිටිමු. ටෙලිවිෂන් නාලිකාවල රියැලිටි වේදිකාවලට නොදෙවනිව, බොහෝ කාණ්ඩවලට බෙදා ඇති පාසැල් සෞන්දර්ය තරග ද, හැකි තරම් තරග මානසිකත්වය දරුවන් තුළ පෝෂණය කරමින් සෞන්දර්ය අධ්‍යාපනය වෙත නියතව හමුවිය යුතු බොහෝ අඩවි එහෙම පිටින්ම නසා දමමින් කලා භාවිතය හා සේවනය ද තරග කලාපයක්ම පමණක් බව සමස්ථ ශිෂ්‍ය ප්‍රජාව වෙත දන්වමින් සිටියි.

වහා හැරී විමසිය යුතු කලාප ගණනාවක්, සෞන්දර්ය අධ්‍යාපනය හා භාවිතය විෂයයෙහි වන බව, මොහොතක් හෝ නොපමාව අප වටහාගත යුතු ය. තවත් දශකයකින් හෝ දෙකකින් රටේ ඉදිරි අසුන් වෙත පිළිපනින්නට නියමිත දරු පරපුරක් හමුවේ සියුම්ව විමසිය යුතු කරුණු ගණනාවක් ද වන බව අප විමසිල්ලට ගත යුතු ය. ළමා ආරක්ෂක අධිකාරිය වැනි ආයතන පැවතිය යුත්තේ සෘජුව සිදු කෙරෙන ළමා අපචාර ගැන සොයන්නට පමණක් නොවේ. බුරුතු පිටින් නාලිකාවලට කැඳවා අපචාරයෙහි යොදවන රටේ සමස්ථ ළමා පරපුර ගැන ඔවුන් වඩා සවිඥාණික විය යුතු ය. තිරයේ සුරතල් වන දරුවා හමුවේ ‘පැරදී‘ හඬා වැටෙන, දරුණු මානසික කඩා වැටීම්වලට ලක්විය හැකි, තිරයෙන් පිටත දරුවා ගැන ඔවුන් විමසා බැලුවා ද? මෙය දරුණු ව්‍යසනයක් ය යන සාකච්ඡාව හෝ අධ්‍යාපන බලධාරීන් හමුවේ පැන නැගී ඇත් ද? මා මෑත දී සෞන්දර්ය අධ්‍යාපනය සම්බන්ධ ප්‍රධානියකුගේ මුවින්ම අසා දැනගත්තේ ළමා රියැලිටි වැඩසටහන්වල විනිශ්චය මණ්ඩලවලට ළමුන්ගේ මානසිකත්වය ගැන අදහසක් නැති බැවින් අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ළමා ආරක්ෂක අධිකාරියේ මැදිහත්වීම මත විනිශ්චය මණ්ඩලය වෙත ‘අපෙන් ද කෙනෙක්‘ වාඩි කරවා ගැනීම ගැන දැන් අවධානය යොමුවී ඇති බවයි! ආයතනයන්හි ළමා අයිතීන් හා ආචාර ධර්ම පිළිබඳ වැටහීමෙහි සීමාව ඉන් මැන ගත හැක.

අප වහා ප්‍රබල මැදිහත්වීමක් සහිතව ක්‍රියාත්මක වන තුරු, සෞන්දර්ය අධ්‍යාපනය හා භාවිතය පිළිබඳ, ළමා අයිතීන් පිළිබඳ නිසි අර්ථ නිරූපණ සාකච්ඡාවට කැඳවා භාවිතයට කැඳවන තුරු, මුලින් කී දැරිය වැනි අවිහිංසක දැරියන් ඉන්ද්‍රානි පෙරේරා ගයන ගීතය යළි යළි ගයනු ඇත. දරුවන් ඔවුන් හා නටනු ඇත.

“රළ ලෙස ජීවන දිය දහරේ - අත ගෙන එමි ඔබ යන පාරේ...
සුපුරුදු ගති ගුණ නොම නෑරේ - දුක හෝ සැප විඳගමු මිහිරේ...“

සමස්ථ දරු පරපුර අදහසකින් තොරව ‘සුපුරුදු ගතිගුණ නෑර‘ විවිධ පාරවල්වල යවා ඇද වැටුණු පසු අපටත් මේ තරග විනිශ්චය මණ්ඩල සාමාජිකාවක් කලකට ඉහත වෙනත් සන්දර්භයක ගැයූ ගීයකින් පදයක් දෙකක් එක්ව ගැයිය හැක.

“ඔබ පර වී වැටිලා... නැගිටින්න එපා... නැගිට කොහේ යන්න ද අපි?“

-ප්‍රියන්ත ෆොන්සේකා -


1 comment: