Tuesday, October 2, 2018

ජ්‍යොතිෂ්‍යයට දෙන අවකාශය සාහිත්‍යයට දෙන්න!


(2018 සැප්තැම්බර් 30 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.)

ජාතික රූපවාහිනියේ මෙතෙක් කල් විකාශනය කෙරුණු ‘යථා රූප‘ නමැති වැඩසටහන හිටි අඩියේම ජනපති නියමයෙන් නතර කෙරුණු බවත්, ඒ වෙනුවට ජ්‍යොතිෂ්‍යය පිළිබඳ වැඩසටහනකට අවකාශ හිමිවනු ඇති බවටත් පසුගියදා ආරංචියක් පැතිරිණ. පැතිර ගිය ආරංචි මාත්‍රව සිදුව ඇත්තේ දිගු කලක් ජ්‍යොතිෂ්‍යය සහ වෙනත් මිත්‍යාමතික වැඩසටහන් හා ක්‍රියාකාරකම්වලට එරෙහිව ‘සත්‍යය‘ හා ‘යථාව‘ සමාජගත කරන්නට කටයුතු කරමින් උන් ‘යථාරූප‘ වැඩසටහනට එරෙහිව ප්‍රමුඛ ජ්‍යොතිෂ්‍යවේදීන් සටන් මගට බැසීම ය. ඔවුන්ගේ සටන එතරම් සංකීර්ණ, දිගු වූවක් බවද පෙනෙන්නට නැත. ඔවුන් සිදුකර ඇත්තේ සිය ග්‍රහයින්ගේ බලයන් පිළිබඳ විශ්වාස පසෙක තබා රටේ විධායකය මුණගැසීම ය!

මේ සියල්ල අතරතුර, යළිත් සුපුරුදු වාර්ෂික සාහිත්‍ය මංගල්‍යය කරළියට පැමිණ ඇත. දිගු පෝලිම්, ගියවරටත් එහා ගිය පොත් එළිදැක්වීම්, කතාබහ, සාහිත්‍ය ඇගයීම් හා සම්මාන ඈ සියල්ල සමග දැන් බොහෝ පිරිසක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙත පොදිකමින් සිටිති. මේ ලිපිය ඔබ කියවන මොහොත විට කෙළවර දකින්නට නියමිත මෙම ‘පොත් සැණකෙළිය‘යළිත් වසරකින් මුණගැසීමේ පොරොන්දුව පිට ඉවත්ව යනු ඇත. ඉන්පසු, යළිත් වෙළඳ සැණකෙළි, මල් ප්‍රදර්ශන, මනාලියන් ඇන්දවීම් ඈ වැඩසටහන්වලින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වැසී යනු ඇත.

වාර්ෂිකව මිලට ගෙන ගොඩගසා ගන්නා පොත් එකතූන්වලින්, ඒ මිලට ගන්නට එන පිරිස ඉලක්ක කර නිකුත් කරන විවිධ වර්ගයේ කවි, කෙටිකතා, නවකතා, පරිවර්තන ඇතුළු නන්විධ පොතපතින් පමණක් අපට වඩා සංවේදී හා ගැඹුරු චින්තාවන් සහිත පුරවැසි සමාජයක් බිහිකරගත හැකි වනු ඇත් ද? නේක වර්ගයේ පොතපතින් පිරුණු කුටි පීරමින්, දරන්නට බැරි බරවලින් පොත්පත් උස්සාගෙන පොත් ප්‍රදර්ශන බිමෙන් පිටව යන පුරවැසියන් දකින්නෙකුට සමාජය පිළිබඳ යම් ධනාත්මක චින්තාවක් පහළ විය හැකි වුවත්, හෙට දින එම බිමෙහිම ‘යථා රූප‘ පැරදවූ ජ්‍යොතිෂ්‍යය හා ඒ ආශ්‍රිත මිත්‍යාවන් කරතබාගත් තක්කඩි වෙළෙන්දන්, ‘ජීවන සතුට‘ මිල කරමින් විකුණන ප්‍රදර්ශනයක් ඇරඹුවහොත් මේ පිරිසෙන්ම වැඩි කණ්ඩායමක් එහිදීද හමුවීමේ අවකාශ ඔහුට හෝ ඇයට ලැබෙනු ඇත.

සැබවින්ම අපට අවශ්‍ය ‘ඇතුන් බරට පොතපත‘ ද? නැතහොත් සාහිත්‍යය සේවනය කරන්නට නිසි දැනුමකින් සන්නද්ධ පුරවැසි සමාජයක් ද?

වාර්ෂික පොත් ප්‍රදර්ශනයකින් පුරවැසියන්ට සංග්‍රහ කිරීමත්, සිය පොත් එකතූන් නව සාහිත්‍ය සමාගම්වලින් පුරවාලන්නට ඔවුන් වෙත ආරාධනා කිරීමත් පොත් ප්‍රකාශකයින්ගේ අතින් සිදුවන අනගි මෙහෙයකි. එහෙත් එහි නිසි ප්‍රතිඵල අප වෙත ලැබෙනු ඇත්තේ සේවනය සඳහා කැඳවාගන්නා පොතපත නිසි ලෙස කියවාගත හැකි පාඨකයෙකු කෘතිය අභියසට ගෙන ආ පසු ය. දුර්වල අධ්‍යාපන ක්‍රමයක් ඇති රටක, සාහිත්‍යයේ අගය පිළිබඳ මනා සන්නිදර්ශන ඉදිරිපත් කරන්නට තරම් පෝෂිත අවබෝධයකින් පිරි ගුරුවරුන් හිඟ රටක, මේ මහා පොත් කන්ද වාර්ෂික සංදර්ශනයකින් එහා ගිය කිසිවක් නොකරනු ඇත. යළි යළිත් අප ‘ධර්මිෂ්ඨ සමාජයක‘ සිට ‘යහපාලනයක්‘ දක්වා විශ්වාස තබමින් නිර්මාණය කරන ‘ජනතා‘ නායකයින් වෙතින් ‘යථා රූප‘ පළවා හැරෙන සමාජයක්ම පමණක් නිර්මාණය කරනු ඇත.

වඩා ‘රැඩිකල්‘ හා ‘නිර්මාණශීලී‘ කාන්තාවක් ලෙස පිළිගැනීමක උන් ඉනෝකා සංත්‍යාගනීටම පෙර කී ජනපති නියමය ක්‍රියාත්මක කරන්නට සිදුවීම උත්ප්‍රාසයක් ලෙස දැකිය හැකි වුවත්, රාජ්‍ය යාන්ත්‍රණය තුළ වන මාධ්‍ය ආයතනයක මුල් පුටුවකට කවරකු පැමිණිය ද ‘ගුවන් කරණම්‘ ගැසීමට ඒ කවරකුට වුව හැකියාවක් නැති බව පැහැදිලි සත්‍යයකි. එහෙත් පුරවැසි සමාජය වෙනුවෙන් මාධ්‍ය ඇමතිවරයාගේ සිට සත්‍යාගංනී දක්වාත්, අනෙක් පස ස්වාධීන රූපවාහිනියේ සිටින කැටිපෙආරච්චි සහ අතාවුදහෙට්ටි දක්වාත් ඉදිරිපත් කළ හැකි අභියෝගාත්මක ඉල්ලීමක් (ඔව්... පුද්ගලික නාලිකාවලටත් ඇතුළුව) මෙහිලා ඉදිරිපත් කරන්නට මා සතුටු ය.

ජ්‍යොතිෂ්‍යයට ලබා දෙන අවකාශය සාහිත්‍යයට ලබා දෙන්න!

සෑම දිනකම උදෑසන 7-8 වන විට නාලිකා අරක්ගන්නා ජ්‍යොතිෂ්‍ය මුදලාලිලාගේ කතන්දරවලට අභියෝග කරන්නට ‘යථාරූප‘ නිපදවන්නට එපා යැයි කියන ජනපති නියමය එහෙමම තිබුණා දෙන්! ඒ වෙනුවට, මේ උදෑසන අවකාශවල (ඔව්... වෙළඳ හේතු මත ඒ වැඩසටහන් ඉවත් කරන්නට බැරි නම්), සමාන හෝ නැතිනම් තරමක අඩු කාලසීමාවක හෝ ඉඩක් සාහිත්‍යයට ලබා දෙන්න! පුද්ගලික නාලිකා තරම්ම ජ්‍යොතිෂ්‍යය වැඩසටහන්වලින් සෙසු නාලිකා පිරී නැතත් ඊට එරෙහිව අභියෝගය භාර ගැනීමට ඒ නාලිකාවලට පුළුවන.
පොත් ප්‍රදර්ශනවලින් නිවසට ඔසවාගෙන යන කෘති සේවනය කරන්නටත්, එහි අනේකවිධ අවකාශ අතර සරන්නටත් මේ පුරවැසි සමාජය වෙත නිතිපතා සහාය වන සංවාද මණ්ඩපයක් තනන්නට අපට හැකි නම් එය කදිම ය. විශ්වයේ කෙළවරක, කොහේ හෝ තැනක ඇති ග්‍රහයකුගෙන්, අදෘශ්‍යමාන බලවේගයන්ගෙන් අප ජීවිත වෙත සිදුවන්නට නියමිත ගැහැටට වඩා දහසක් කටෝරයන් රටක ආර්ථික ප්‍රතිපත්තිවල දුර්වලතාවලින් එළඹෙනු ඇති බවටත්, අදූරදර්ශී පාලකස්ථානවල තීරණවලින් අභිමුඛ වනු ඇති බවටත් එවිට ඔවුන්ට වැටහෙන්නට පටන් ගනු ඇත. සන්තුෂ්ටිදායක ජීවිතය වනාහි අතෝරක් නැති ඉලක්ක පසුපස හඹා යමින් අනෙකා පරයා යන්නට යත්න දැරීම නොව නිවහල් චින්තනයකින් යුතුව ජීවිතය වටහාගැනීම හා විඳීම බව ඔවුන් සාකච්ඡා කරන්නට පටන් ගනු ඇත.

ලග්නයෙන් ලග්නයට පැන දවසේ ඉදිරිය ගැන බිය වද්දන සමූහයට ප්‍රතිමුඛව ජයතිලක කම්මැල්ලවීර, ලියනගේ අමරකීර්ති, සුනේත්‍රා රාජකරුණානායක, සුමිත්‍රා රාහුබද්ධ, නිශ්ශංක විජේමාන්න ආදී ප්‍රබන්ධකරුවන්, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, රුවන් බන්දුජීව, රත්න ශ්‍රී විජේසිංහ, ආරියවංශ රණවීර, සුනිල් විජේසිරිවර්ධන ආදී කවීන්, ගාමිණී වියන්ගොඩ, චූලානන්ද සමරනායක, අනුල ද සිල්වා ආදී පරිවර්තකයින් කැඳවා බලන්න. සාහිත්‍යය පිළිබඳ විචාරකයින් හා වියතුන් කැඳවන්න. ඒ හා සමග සාහිත රසවතුන් වාඩි කොට බලන්න.

ඉසියුම්ව ලියැවුණු කවියක පදවැල් අතර දිනපතා සරන වැඩසටහනක්, නවකතාවක් හෝ කෙටිකතාවක් මවන නෙක හැඩැති ලෝකයන් හා ඒ චරිත අතර දිනපතා සරන වැඩසටහනක්, ඒ සියල්ල අභිමුව නැගෙන ජීවිතය හා මනුෂ්‍යත්වය පිළිබඳ සංවාදය නිතිපතා අප වෙත තබන වැඩසටහනක් පුරවැසි සමාජය වෙතට කුමක් කාන්දු කරනු ඇත්දැයි අප සිතුවිල්ලකින් හෝ විමසා ඇත් ද?

විද්‍යාවත්, දර්ශනයත් හා නැගී වැඩෙමින්, දියුණු චින්තනයකින් හෙබි විශ්ව මානව ප්‍රජාව හා සමාන්තරව ගමන් කරමින්, වඩාත් දියුණු හා පෙර දැක්මක් ඇති පුරවැසි සමාජයක් තනාගන්නට නම් සාහිත්‍යය හා කලාව නිරන්තරයෙන් සේවනය කරන සමාජයක් අප තනා ගත යුතුම ය. වෙළඳ අවශ්‍යතා හා රාජ්‍ය පාලකස්ථානයේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින පුද්ගලික හා රාජ්‍ය නාලිකාවලින් මෙවැනි ඉල්ලීම් කිරීම ප්‍රතිඵල විරහිත වනු ඇතැයි ඔබ කියන්නට ඉඩ ඇතත් එක දිගටම සිදු කරන බලපෑමකින් සුළු හෝ පෙරගමනක් අපේක්ෂා කළ හැකි බව සිතීමෙහි ඇති වරදක් නැත. එනිසා අපි එක්ව කියමු!

ඔව්! ජ්‍යොතිෂ්‍යයට ලබා දෙන අවකාශය සාහිත්‍යයට ලබා දෙන්න!

-          ප්‍රියන්ත ෆොන්සේකා -


No comments:

Post a Comment