Thursday, January 28, 2021

අධ්‍යාපනයේ අර්බුදය එක පිටුවකින්: හය ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපනය - පිට 99

 (2021 ජනවාරි 24 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)

දිනය මට හරියටම මතක නැතත් ඒ පසුගිය දෙසැම්බර් අවසානයේ දිනයක් බව නම් අමතක නැත. මගේ බිරිඳගේ ඥාති දියණියක ශිෂ්‍යත්ව විභාගය සමත්ව උන් හෙයින් ඇයට සුබ පතනු වස් අපි ඇයගේ නිවසට ගොස් සිටියෙමු. ශිෂ්‍යත්වය ඉහළින් සමත් වීම හේතුවෙනුත්, නව පාසැලකට යාමට ලැබීම හේතුවෙනුත් දියණිය සිටියේ සතුටකිනි. ඇය නව පාසැලේ දී අසුන් ගැනීමට නියමිත හය වැනි ශ්‍රේණියට අයත් පාසැල් පොත් එකතුවක්, ඇය තුළ වූ ආඩම්බරය සංඥා කරමින්ම, ඇගේ කුඩා පොත් මේසය මත රැඳී තිබුණේ ය. එකිනෙක පොත් අතින් ගෙන බැලූ මට මා වඩාත් ආශා කරන, නමුත් අප පාසැල් යන සමයේ එනමින් විෂයයක් නොවූ, පොතක් පෙරළා විමසන්නට සිතුණේ ය. පොත ‘පුරවැසි අධ්‍යාපනය’ පෙළ පොතයි. අහඹු ලෙස පෙරලීමෙන් පසු මගේ නෙතු නතර වූයේ 99 වන පිටුවේයි. මේ පහත මා උපුටන්නේ එහි මා දැක, මගේ දුරකථන කැමරාවේ සටහන් වූ ඡේදයකුයි.

නිව්යෝර්ක් නුවර මධ්‍යම උද්‍යානයේ දර්ශනයක්

“ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ඉඳලා කිලෝමීටර් 30ක් විතර යන තුරු කොළපාට එක ම එක ගහක්වත් දකින්න නෑ. ඊට එහා ගහකොළත් කොළපාට වෙන්නේ අවුරුද්දේ භාගයක් විතරයි. අවුරුද්ද පුරා අව්ව වැටෙන දහවලක් ඔවුන්ට ලැබෙන්නේ නෑ. ඒ රටවල අයට කොළපාටින් පිරුණු අපේ රට දකිනකොට ඇස් අදහා ගන්නත් බැහැ”.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් හයවැනි ශ්‍රේණිය සඳහා ප්‍රකාශයට පත් කොට ඇති පුරවැසි අධ්‍යාපනය පෙළ පොත ප්‍රමුඛ මාතෘකා තුනකට වෙන් කොට ඇති බව එහි පටුන දෙස් දෙයි. ‘අපේ පාසැල’ සහ ‘අප ජීවත්වන ප්‍රදේශය’ ලෙස වන පළමු හා දෙවන කොටස්වලින් පසු මුණගැසෙන තෙවැනි කොටස ‘යහපත් පුරවැසියෙකු වශයෙන් ප්‍රගුණ කළ යුතු ගුණාංග’ නමින් නම් කොට ඇත. ඉහත උපුටනය ඒ යටතේ එන අතර ඒ සඳහා වන අනු මාතෘකාව වී ඇත්තේ ‘අපේ දේශීය දේ අභිමානයෙන් සුරකිමු’ යන්නයි. අනු මාතෘකාවට පහළින් පහත ආරම්භක වැකිය සමගින් අදාල ඡේද පෙළ ඇරඹී තිබිණ.

“අපේ මව්බිම” නමින් පැවති රූපවාහිනී සංවාද වැඩසටහනක දී පළ වූ අදහස් කිහිපයකි මේ.

රූපවාහිනී වැඩසටහනක් හෝ වෙනයම් කවර කලාපයක් හෝ උපුටමින් දරුවන් වෙත යම් කරුණක් වෙත අවධානය යොමු කරවීම වරදක් යැයි කිසිවකුට යෝජනා කළ නොහැකි ය. වරද (මෙවැනි වැඩසටහනක් සත්‍ය ලෙසම පැවතියේ වුවත්) ඒ සටහන් කරන දෙයෙහි ඇති නිරවද්‍යතාවයි. දෙවැනුව ඒ ඔස්සේ දරුවන් වෙත අප සම්ප්‍රේෂණය කරන්නට යන කරුණෙහි හෝ කරුණු එකතුවෙහි වන දෘශ්ටිවාදීමය පදනමයි.

අපි එකින් එක විමසමු.

අන්තර්ජාලයේ ඇති තොරතුරු දත්ත අනුව වර්ග කිලෝමීටර 783.8ක් වන සමස්ථ නිව්යෝර්ක් නගර අවකාශයෙන් වර්ග කිලෝමීටර 113ක් වෙන්ව ඇත්තේ නගර උද්‍යාන සඳහා ය. නිව්යෝර්ක් නගර දෙපාර්තමේන්තුව ඉතා උනන්දුවෙන් මෙම උද්‍යාන කළමණාකරණය කරනු පමණක් නොව ඒවා තව දුරටත් සංවර්ධනය ද කරනු ලබන බව පෙනෙයි (විමසන්න: https://www.nycgovparks.org/). කොන්ක්‍රීට් වනාන්තරයක් ලෙස නිව්යෝර්ක් නගරය නම් දරා ඇති වුවත්, අති දැවැන්ත, නගර මධ්‍යය පුරා විහිදි මධ්‍යම උද්‍යානය ද සමග නැගෙන උද්‍යාන, කුඩා සෙල්ලම් පිටි ඇතුළු කලාප 17,000ක් නගර කලාපය පුරා විහිද පවතින බව සොයා ගැනීම සුළු අන්තර්ජාල සැරියකට වුව පිවිසෙන්නෙකුට අපහසු කටයුත්තක් නොවේ.

නිව්යෝර්ක් නගරය: කුරුළු ඇසකින්
නිව්යෝර්ක් නගරය පිළිබඳ ‘තඩි බොරුවක්’ දරුවන්ගේ මනස් තුළ ධාරණය කරවමින් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගෙන් ද සැදුම්ලත් පුරවැසි අධ්‍යාපනය පොතේ සංස්කාරක මඩුල්ල සිය ආධ්‍යාශය කොට ගන්නේ අප රටේ ‘ඇති’ (හෝ නැති) ශ්‍රී විභුතියක් පිළිබඳ දරුවන්ට අදහසක් දෙන්නට ය. සමස්ථ පාඩමම උපුටාගන්නා රූපවාහිනී වැඩසටහන මත පදනම් කරගන්නා සංස්කාරකවරු අදාල වැඩසටහන තුළ දී අපේ රටේ ඇති කෘෂි සම්පත් හා ඛණිජ සම්පත් ආදිය ගැන ද, පුරා විද්‍යාත්මක හා පරිසරමය සම්පත් ආදිය ගැන ද වර්ණනාභිමුඛව කතා කළ බව කියති.

අප රට හරිතමය දිවයිනක් බව රහසක් නොවේ. සමකාසන්න රටක් ලෙස එයට බලපෑ තත්‍ය පරිසර සාධක අප පාසැල් ගිය සමයේ නම් ‘සමාජ අධ්‍යයනය’ පාඩම් මාලාවල අප ට ඉගෙන ගන්නට තිබුණේ ය. නිව්යෝර්ක් නගරය වසරින් අඩක් හරිත වර්ණයෙන් තොර වන්නේ ලෝක දේශගුණික තත්වයන් හේතුවෙන් බව දරුවන්ට පැහැදිලි කර දී, ලෝකයේ විවිධ කලාපවල ඇති විවිධතාවන් පිළිබඳ ඇගයීමෙහි වටිනාකම වටහා දී අනතුරුව අපගේ සම්පත් පිළිබඳ හා ඒ අප රැකගත යුතු හේතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රවේශ වූයේ නම් මෙම පාඩම ‘පුරවැසි අධ්‍යාපනය’ පිළිබඳ තත්‍ය පාඩමක් වීමට තිබිණ. නමුත් දැන් තැනී ඇත්තේ ඉතා පටු දෘෂ්ටිවාදයක් දරුවන් වෙත තබන පාඩමකි. එය නිව්යෝර්ක් නගරය ගැන කියන ‘තඩි බොරුවට’ වඩා භයානක ය.

යහපත් පුරවැසියකු නිර්මාණය කිරීම පිළිබඳ සාකච්ඡාව නිරන්තරයෙන් ඉදිරියට ඇදී යාම අත්‍යාවශ්‍ය ය. එහිලා පාසැල් අධ්‍යාපනය හමුවේ ‘පුරවැසි අධ්‍යාපනය’ මැයෙන් විෂයයක් හමුවීම ද වරදක් යැයි පෙනෙන්නේ නැත. වරද ඒ විෂයය සඳහා වන පෙළ පොත තුළ බහා ‘සීමාකාරී චින්තනයකින් යුතු’ පුරවැසියෙකු නිර්මාණය කිරීමට අවශ්‍ය දේ පොම්ප කිරීමට කටයුතු කිරීමයි.

මම පෙරළුවේ අහඹුවෙන් එක් පිටුවකි. ඔබ පෙරළන වෙනත් පිටුවල වෙනත් ‘තඩි බොරු’ ද, දුර දිග නොබැලූ මතිමතාන්තර ද නොවන බව තර්ක කළ හැකි ද?

-ප්‍රියන්ත ෆොන්සේකා -

 

 

 

4 comments:

  1. ලංකාව ගැන, ගම ගැන, පවුල ගැන තියෙන්නෙත් ඔය වගේ තඩි බොරු තමයි.

    ReplyDelete
  2. හොද කියවීමක්

    ReplyDelete
  3. තම දේ අගය කිරීම යනු අන් සතු දේ ගැරහීම නොවේ .මේ මවාපෑම රටේ අනාගත පුරවැසි මනස මොට කරන බව නොවැටහෙන පුද්ගලයන්ගෙන් වන හානිය බරපතලයි .

    ReplyDelete