Saturday, January 23, 2021

කවිකම සිරගෙයි ලෑම: ශක්තිකගෙන් පසු අහ්නෆ් ජසීම්

 (2021 ජනවාරි 17 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)

පෙරදිග, සංස්කෘත නාට්‍ය කලාවෙහි මුඛ්‍ය ශාස්තෲවරයෙකු ලෙස සැලකෙන භරතමුණි විසින් ක්‍රි.පූ.2 වන සියවස තුළ ලියැවුණු ‘නාට්‍ය ශාස්ත්‍රය’ නමැති ග්‍රන්ථයෙහි නව වැදෑරුම් රසයන් පිළිබඳ සාකච්ඡා කෙරෙයි. වත්මනෙහි ද පෙරදිග නාට්‍ය හා රංග කලාව, සාහිත්‍යය ඈ කලාපවල පෙරමුණට ගෙනෙන මෙම රස නවය පිළිවෙලින් හාස්‍ය, වීර, කරුණා, ශෘංගාර, භීභත්ස්‍ය, ශාන්ත‍, භයානක, අද්භූත‍ සහ රෞද්‍ර ලෙස වෙයි. ප්‍රේක්ෂකයා අභිමුව මැවෙන නාටකයක දී නළුවකු විසින් ස්වකීය මුහුණෙහි ඉරියව් (සාත්වික අභිනය) භාවිතයෙන් මෙම රසයන්ට අදාල භාවයන් නිරූපණය කරන ආකාරයන් පිළිබඳ දීර්ඝ සාකච්ඡා පෙරදිග නාට්‍ය කලාව විෂයයෙහි හඳුනාගත හැක.

‘නව රසම්’ යනුවෙන් දමිළ බසින් අර්ථ ගැන්වෙන්නේ මෙම නව නළු රසයන් ය. එය මෙම ඡේදය ආරම්භයෙහි උපුටාගැනීමේ ලකුණු තුළ තැබීමට හේතු වන්නේ, මෙම තීරුව ලිවීමට අද පසුබිම සපයන, එනමින් යුතු කාව්‍ය ග්‍රන්ථය සහ එහි රචකයා පිළිබඳ සිදුවීම ය. රචකයා අහ්නෆ් ජසීම් ය. පසුබිම් සිදුවීම, අද වන විට ඔහු මාස 08කට ආසන්න කාලයක් එම කාව්‍ය ග්‍රන්ථය රචනා කිරීම හේතුවෙන් සිරගෙයි හිඳීම ය.

අහ්නම් ජසීම්

අහ්නෆ් ජසීම්, නොඑසේනම් මොහොමඩ් ජසීම් මොහොමඩ් අහ්නෆ් සිරගත කිරීම ගැන දීර්ඝ ලිපියක් පසුගිය ‘අනිද්දා’ පුවත්පතෙහි ද පළව ඇති පසුබිමක මෙම තීරුව තුළ යළි ඔහු පිළිබඳ සංවාදයක් ඇරඹීම අත්‍යාවශ්‍ය දැයි ඔබ ම’විමසනු නොඅනුමාන ය. මගේ පිළිතුර ‘ඔව්’ යන්නයි. ඒ ඇයි?

ජසීම් කවියෙකි. දමිළ බසින් කවි ලියන මුස්ලිම් ජාතික තරුණ කවියෙකි. අන්තවාදයට සහාය දෙන්නේයැයි චෝදනා කරමින්, ඔහු ලියූ ‘නවරසම්’ කවි පොත පදනම්ව ඔහු අත්අඩංගුවට පත් වන්නේ පසුගිය මැයි මාසයේ ය. කෙසේ වෙතත්, ඔහුගේ කවි පරිවර්තනය කොට බැලූ පරිවර්තකයින්ට හෝ ඒ කියවා බැලූ අයවළුන්ට හෝ එහි හඳුනා ගන්නට ලැබුණු අන්තවාදයක් පිළිබඳ ආරංචියක් නැත. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳ ව්‍යවස්ථාවේ වන මූලික සඳහනට එරෙහිව යමින් අත්අඩංගුවට පත් ජසීම් සිරබත් කන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයට, යුද්ධයට, හිංසනයට, මුස්ලිම් අන්තවාදයට එරෙහිව යමින් සාමය හා මනුෂ්‍යත්වය පිළිබඳ කවි ලිවීම හේතුවෙනි. එනිසාවෙන්ම, අපි මෙවැනි තීරුවල පටන් දිගු ලිපි දක්වා යළි යළිත් ලියමින් ජසීම්ගේ නිදහස ඉල්ලා සිටිය යුතුම ය.

ශක්තික සත්කුමාර ‘අර්ධ’ නමින් කෙටි කතාවක් ලියූ වරදට සිරගත කෙරුණේ 2019 අප්‍රේල් මාසයේ, එනම් ජසීම් සිරගත කිරීමට වසරකට පමණ පෙරාතුව ය. ශක්තික දෙසට දිගු වුණු චෝදනා හස්තය කියා සිටියේ ඔහු බුදු දහමට අපහාස කොට ඇති බව ය. 2020 මැයි මස ජසීම් සිරගත කෙරෙන්නේ ඔහු අන්තවාදයට සහාය පළ කරමින් කවි ලියා ඇති බව සඳහන් කොට ය. මේ සිදුවීම් දෙකෙහිම ඇති සාම්‍යය නම්, දරුණු අපරාධකරුවන් හා සම තන්හි තබා, මේ ලේඛකයින් අත්අඩංගුවට පත් වන්නේ සහ සිරගත කෙරෙන්නේ පරීක්ෂණ පදනම්ව නොව සැකය පමණක් පදනම්ව වීමයි. එදා ශක්තික ද, අද ජසීම් ද සිරගෙයි සිය කාලය ගෙවන විට ඔවුන් වෙත එල්ලව ඇති චෝදනාව සත්‍යයක්දැයි දන්නා කවරකුදු ඔවුන් අත්අඩංගුවට ගන්නා පිරිස තුළ නොසිටි බව පැහැදිලි ය.

නීතිය ක්‍රියාත්මක වන්නේ එසේයැයි ඔබ මා සමග තර්ක කරන්නට පිවිසෙන බව මම දනිමි. අධිකරණ කටයුත්තකින් මිස යම් චෝදනාවකට යමෙකු වරදකරුවකු කළ නොහැකි බව ඔබ කියන බව ද මම දනිමි. නමුත්, එදා ශක්තික කළේත්, ජසීම් කළේත් (සත්‍ය වශයෙන්ම ජසීම්ගේ කෘතිය එළිදැක ඇත්තේ 2017 වර්ෂයේ ය.) අපරාධ නොව ලේඛණ කටයුතු ය. ඔවුන් සැඟව සිටි ‘බරපතල වරදවලට’ චෝදනා ලැබූවන් නොව, කෙටි කතා හෝ කවි ලියූවන් ය. ඒ හේතුවෙන් මේ අවස්ථා දෙකෙහිදීම අදාල කරුණෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ ගැඹුරු විමර්ෂණයක් පළමුව සිදු කිරීමේ හැකියාවක් කොහොමටත් ඇති බව පැහැදිලි ය.

අනෙත් අතට, ජසීම්ගේ ලිවීමට එරෙහි චෝදනා වර්තමානය වන විට අන්තවාදය වෙත සිට ළමා මනසට බලපෑම් කිරීම දක්වා විතැන් වී ඇති පසුබිමක එම කවිවලින් ළමා මනසට විය හැකි බලපෑමක් ඇත්දැයි යන්න සොයා බැලීමට මනෝ වෛද්‍ය විශේෂඥයින් වෙත ඒ ඉදිරිපත් කිරීමේ තීරණය දෙස ද අප හැරී බැලිය යුතු ය. මෙහිදී අප හැර දමන කරුණු රැසකි. මේ සාහිත්‍යමය ලේඛණයන් ය. නිශ්චිත බසක ඇති උපමා, රූපක, රූඩි යනාදියෙහි ඇසුර සමගින් ගෙන එනු ලැබූ නිර්මාණයන් ය. සාහිත්‍යමය කෘති පිළිබඳ කෙරෙන මනෝ වෛද්‍ය විද්‍යාත්මක නිර්වචනයකින් ලේඛකයෙකුගේ ජීවිතය සිරගෙයි ලන්නේ නම් අප පසුවන්නේ බිහිසුණු අවස්ථාවක ය.

තරුණයෙකු ලෙස ජසීම් දැන්, කවි ලිවීමේ වරදට, අට මසකට ආසන්න කාලයක් සිරගෙදර ය. කොවිඩ් හේතුවෙන් දික් වුණු අධිකරණ කටයුතු නිසා ඔහුගේ මීළඟ නඩුවාරය යෙදී ඇත්තේ මාර්තුවේ ය. ඒ වන විට ඔහුගේ සිරගෙයි දිවිය දසමාසයක් වනු ඇත. නිසි විමර්ෂණයකින් තොරව තරුණයකු සිරගෙයි ලෑමෙන් නොනැවතී, ඔහු එවැනි දිගු කලක් ඔහුගේ සමාජ දිවියෙන් ඈත් කොට තැබීම පිළිබඳ අප ලජ්ජා විය යුත්තේ රටක් වශයෙනි. ඒ ලජ්ජාව සිත්හි දරාගෙන අපට ඔහු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය දා ලියා තැබූ කවියෙන් කොටසක් යළි කියවිය හැකි ය.

දස වසක් පමණ අපි

සහනයේ සුසුම් රැළි

සමග නැගෙමින් උනිමු

මරණයට බිය නොවී

දිවිය විඳිමින් උනිමු

ඔබ...

ක්ෂණයකින් නැගී විත්

එය විසුණු කළෙහි ය!

 

ලක් මවුන් දැන් නැවත

නියතවම හඬනු ඇත!

පරාදීසයේ ජීවිතය පිණිස ඔබ,

අප සැවොම පණපිටින්

නසා ඇත!

 

-ප්‍රියන්ත ෆොන්සේකා -


සේයාරුව: http://www.ft.lk/news/ 

1 comment: