Wednesday, May 26, 2021

චූලානන්ද අප වෙත දිගු කරන දෙවොල්තොව්ගේ ‘සූට්කේසය’

 (2021 මැයි 23 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි. එහි මෙය පළ වූයේ 'අප වෙත ඇති සූට්කේසය කුමක්ද?' මැයෙනි.) 

රැසියානු, ආර්මේනියානු සම්භවයක් සහිත තැනැත්තෙකු වශයෙන් යෙර්ගෙයි දෙවොල්තොව් උපත ලබන්නේ 1941 වර්ෂයේ දී සෝවියට් සමූහාණ්ඩුවට අයත්, බෂ්කීරියා ජනරජයේ, උෆාහිදී ය.

යෙර්ගෙයි දෙවොල්තොව්
දෙවන ලෝක යුද්ධය ක්‍රියාත්මක සමයක උපත ලබා, එහි අවසන් තීරණාත්මක රුසියානු මැදිහත් වීම් සමයේ සිය ළදරු විය පසු කරන දෙවොල්තොව්ගේ මව ආර්මේනියානු කාන්තාවක වූ අතර පියා යුදෙව් සම්භවයක් සහිත තැනැත්තෙකි. දෙවොල්තොව්, ලෙනින්ග්‍රාද් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය අතරමග අතහැර දමා, අනතුරුව කවියන් සහ ලේඛකයින් ඇසුරෙහි කටයුතු කරමින් හිඳ, සෝවියට් අභ්‍යන්තර ආරක්ෂක කටයුතු ඇසුරෙහි බන්ධනාගාර ආරක්ෂකයෙකු ලෙස ද සේවය කොට, ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙත පිවිස ඇත. කෙසේ වෙතත්, සංචාරක මග පෙන්වන්නෙකු ලෙස දිවිය සරි කරගන්නට ඔහුට සිදුව ඇත්තේ ඔහු ලියූ ලේඛණ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව අභ්‍යන්තරයෙහි පිළිගැනීමක් නොලබන හෙයිනි. ඒ ලේඛණ ගණනාවක්ම ප්‍රකාශනයට ඉඩ ලැබී ද නොමැති පසුබිමක දෙවොල්තොව් නමින් යුතු රචකයෙකු පිළිබඳ රුසියානු ප්‍රජාවට අදහසක් ලබා ගන්නට ඉඩ ලැබී නැත.

දෙවොල්තොව් පිළිබඳ මේ ඉහළ ඡේදය සමාරම්භයේදීම තබන්නට හේතුව පෙර දිනක මා අතට පත් වුණු කෘතියකි. එය නවකතාවක පරිවර්තනයක් වන අතර එහි නම ‘සූට්කේසය’යි. විදර්ශන ප්‍රකාශනයක් ලෙස අප අතට පත් වන එහි පරිවර්තකයා චූලානන්ද සමරනායකයි.

‘සූට්කේසය’ නවකතාවෙහි මුල් රචකයා යට කී යෙර්ගෙයි දෙවොල්තොව් ය. 1978 වර්ෂයේ දී මෙම නව කතාවේ කතා නායකයා වන ‘දෙවොල්තොව්’ සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ සිට ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වෙයි. සැබෑ රචකයා එය සිදු කොට ඇත්තේ 1979 දී ය. ‘සූට්කේසය’ ලියැවෙන්නේ 1986 දී ය.


‘සූට්කේසය’ අපූරු නවකතාවකි. එය සූට්කේසයක් ගැන ය. වැඩිමනත් ඒ තුළ ඇති දේ හා බැඳි සිදුවීම් ගැන ය. දෙවොල්තොව් නමැති කතා නායකයා සිය මව්රට අතහැර ඇමරිකා එක්සත් ජනපදය බලා යාමට රුසියානු ආගමන විගමන අංශවලින් සිදු කරන අවසර ගැනීම්වලදී ඔහුට රටින් පිටතට ගෙන යාමට අවසර ලැබෙන, පොප්ලින් කමිසයක්, බූට් සපත්තු ජෝඩුවක්, අත් මේස් යුවලක්, ලාබ විදේශීය මේස් ජෝඩුවක්, කලිසමක බඳ පටියක් ඇතුළු එකිනෙක අසම්බන්ධිත, වැඩි වටිනාකමක් නැති දේවල් කිහිපයක් ඒ තුළ වෙයි. නව කතාව විහිදෙන්නේ මේ එක් එක් දෙය හා බැඳි කතන්දර කතා නායකයා විසින් අප වෙත තැබීම ඔස්සේ ය. එක් අයුරකින් කෙටි කතා හා සම, තවත් අයුරකින්, කතා නායකයා මෙන්ම රචකයා ද දෙවොල්තොව් බැවින්, ජීවන විත්ති පෙළක් හා සම මෙම කතන්දර විශ්මිත අයුරින් සෝවියට් සමූහාණ්ඩුවේ නිලධාරිවාදය හා සමාජවාදී පාලන තන්ත්‍රයේ ඛේදනීය බිඳවැටීම අප වෙත තබයි.

‘සූට්කේසය’ නොස්ටැල්ජික මෙන්ම හාස රසයකින් යුතු අපූර්ව රචනයකි. එක් එක් අනු කතා තුළ සිදු වන සිදුවීම් ඇතැම් විටෙක ප්‍රබල හාස්‍යයක් අප වෙත ගෙන ආව ද, ඒ හා සමග, සිය මාතෘ භූමිය අහිමි වූ අයෙකුගේ අප්‍රකාශිත වේදනාව වටහාගන්නට ලැබෙන සියුම් හුයක් ද ඒ පසුපසින් ගෙන එනු පෙනෙයි. රචක දෙවොල්තොව් හා කතා නායක දෙවොල්තොව් විටෙක වෙන් වෙන්ව ද, විටෙක එක්ව ද අප කැඳවාගෙන යන්නේ පෙරස්ත්‍රොයිකාව සමග බිඳ වැටෙන්නට පෙර සමයේ රුසියානු සමූහාණ්ඩුව පිළිබඳ එක් තීරණාත්මක කියවීමකි.

චූලානන්ද සමරනායක

චූලානන්ද සමරනායක එය සිය පරිණත රචනා ශෛලිය සමග යළි අප වෙත තබා ඇත. දෙවොල්තොව්(ලා)ගේ හාස්‍ය හා නොස්ටැල්ජියාව මුසු අතීත විත්ති කිහිපය කියවා, නවකතාවක් කියවා නිම කළ තුටින් අපට කෘතිය පසෙකින් තැබිය හැක. නමුත්, ‘සූට්කේසය’ මා වෙත නම් බිහි කළේ ඉන් ඔබ්බට ඇවිද යන්නට මා මෙහෙයවූ සිතුවිල්ලකි.  

අප වෙත ඇති ‘සූට්කේසය’ කුමක් ද? ක්‍රිස්ටෝපර් නෝලන් අධ්‍යක්ෂණය කළ ‘Following’ නමැති සිනමා කෘතියේ එන ආකර්ෂණීය දෙබස් කණ්ඩයක් මගේ මනසේ දැඩිව තැන්පත්ව ඇත. ‘Everyone has a box’ (සෑම කෙනෙකු වෙතම පෙට්ටියක් ඇත) යනුවෙන් එහි ප්‍රධාන චරිතයක් අනෙකා අමතමින් පවසයි. මේ ‘පෙට්ටිය’ කුමක් ද? ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ අතීතය සබැඳෙන මතකයන්, ඔහුට/ඇයට පමණක් ආවේණික ‘සුළු සුළු දේවල්’ මේ ‘පෙට්ටිය’ තුළ තිබිය හැකි ය. ලාච්චුවක්, බිස්කට් ටින් එකක්, ප්ලාස්ටික් බඳුනක් හෝ වෙන කවර හැඩයකින්, නොඑසේනම්, ඔව්.... සූට්කේසයක හැඩයෙන් වුව, මේ ‘පෙට්ටිය’ පැවතිය හැක. ඒ තුළ වන්නේ අදාල තැනැත්තාගේ/තැනැත්තියගේ අතීතයයි. ජීවන වෘත්තයයි. එය ඔහුට/ඇයට වේදනාවක් පමණක් ගෙන එයි නම්....?

දෙවොල්තොව් කිසි විට නොකීව ද, චූලානන්ද සමරනායකගේ සිංහල පරිවර්තනයේ බස තුළින් අප වෙත මුණ ගැසුණ ද, මේ තියුණු අප්‍රකාශිත වේදනාව ‘සූට්කේසය’ අපට හඟවයි. දෙවොල්තොව් වසර 49ක් පමණක් වූ සිය කෙටි දිවිය තුළ ලොව පිළිගත් දක්ෂ ලේඛකයෙකු බවට පත්වන්නේ මේ විශිෂ්ට රචනා හැකියාව හේතුවෙනි.

කෙසේ වුවත්,  මා ඇසූ පැනයට මා පිළිතුරු දී නැත. අප වෙත ඇති සූට්කේසය නැතිනම් පෙට්ටිය කුමක් ද? සැබවින්ම, කුමන සමාජ දේශපාලනික හා සංස්කෘතික තත්වයන් හමුවේ වුව අප වෙත අපටම ආවේණික වූ ‘සූට්කේස’ ඇතිවාට සැක නැත. නමුත් දෙවොල්තොව්ට රුසියාවෙන් පිටව යාමට සිදු වන්නේ සිය ආර්ථික ශක්තිය සහිත සූට්කේස, සාහිත්‍ය එකතූන් සම්බන්ධ සූට්කේස ආදී බොහෝ සූට්කේස අතහැර ය. දියුණු, ඉදිරිගාමී දේශපාලනික හා සමාජ, සංස්කෘතික මැදිහත්වීමක් නොමැති පසුබිමක අප වෙත ද අවසානයේ ඉතිරි විය හැකි ‘සූට්කේසය’ කුමක් ද?

දෙවොල්තොව්ලාට සහ චූලානන්දලාට ස්තුතිවන්ත වෙමින් අප කල්පනා කිරීම හා ක්‍රියා කිරීම ආරම්භ කළ යුතු ය.

-ප්‍රියන්ත ෆොන්සේකා -  

1 comment:

  1. කෙටි නමුත් විශිෂ්ට නවකතාවක්.

    ReplyDelete