Friday, July 23, 2021

අධ්‍යාපනය සම්බන්ධ අරගල අතරතුර ලියමි!


 අධ්‍යාපන අර්බුදය: පළමුවෙනි කොටස

විදේශයක සිටින, නමුත් ශ්‍රී ලංකාවේ දේශපාලනික සමාජ වටපිටාව පිළිබඳ ඉතා සවිඥාණික තැනක සිටින මිතුරෙක් දැනට සති කිහිපයකට පෙර (වෛද්‍යවරයෙකු ලෙස මෙරට සේවය කරන) ඔහුගේ මිතුරෙකු ලියූ සටහනක් ෆේස්බුක්හි පළ කොට තිබුණේ මාගේ නම ද එහි ‘ටැග්’ කරමිනි. අදාල වෛද්‍යවරයා කොරෝනා හමුවේ ලාංකික සිසු ප්‍රජාව මුහුණ දී ඇති ගැටලු රැසක් මතු කරමින් ඒ සඳහා රජයේ ස්ථාවරය විමසා තිබිණ. ‘ඔන්ලයින්’ අධ්‍යාපනය හා බැඳි ගැටලු හා සීමා, රූපවාහිනිය වඩාත් විධිමත්ව අධ්‍යාපනය සඳහා භාවිතා නොකරන්නේ ඇයි?, පාසැල් විවෘත කිරීම සඳහා ඇති වැඩ පිළිවෙල කුමක්ද? යනාදිය වඩාත් පුළුල් ප්‍රශ්න රැසක් ඔස්සේ ඔහු විසින් මතු කරනු ලැබ තිබිණ.

මේ ලිපි මාලාව ලිවීමට තීරණය කළ දිනයේ මා දුටුවේ එම රටේම පදිංචි තවත් මිතුරෙක් මා මෙහි පළ කොට ඇති කාටූනය සිය ෆේස්බුක් පිටුවේ පළ කරමින්, එයට ඉහළින් ‘ගුරු සංගම්’ ලෙස නම තබා, මේ වන විට නැගී ඇති ගුරු වර්ජනය හාස්‍යයට ලක් කොට ඇති අන්දම ය. විදේශයක ‘දැනෙන සුළු වැටුපක්’ ලබමින් හිඳිමින් මෙලෙස ගුරුවරුන් පහත් කොට සැලකීම යුතුදැයි මා ඔහු විමසූ විට ඔහු කීවේ ඔහුගේ විවේචනය ගුරු සංගම්වල අතකොළු බවට පත්ව ඇති ගුරුවරුන්ට මිස සියල්ලන්ට නොවන බව ය.

පළමු ඡේදයේ මා සඳහන් කළ මිතුරාගේ ෆේස්බුක් පෝස්ටුව මා ගුරුවරියක් වන මගේ බිරිඳ වෙත දැක්වූ විට එහි ඇති කරුණු කිහිපයකටම ඇය එකඟතාව පළ කළේ නැත. ඒ වන විටත් ජාතික රූපවාහිනියේ ‘චැනල් අයි’ සහ ‘නේත්‍රා’ නාලිකා පාන්දර හතරේ පටන් අධ්‍යාපන වැඩසටහන් දිනපතා විකාශය කරන බව ඇය කීවා ය. එසේම එම වැඩසටහන්වල තොරතුරු විදුහල්පතිවරුන් හරහා ඇය වෙත මෙන්ම සෙසු ගුරු මණ්ඩල සාමාජිකත්වය වෙත ද ලැබී තිබිණ. එසේ නම්, ඉහත වෛද්‍යවරයාගේ එක් තර්කයක් නැතිනම් පැනයක් පුස්සක් විය යුතු ය. එවැනි අදහසකින් නොවූවත් මා මගේ මිතුරාගේ පෝස්ටුවට මෙහි අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මේ මොහොතේ අප මුහුණ දෙන කොවිඩ් තත්වය හමුවේ ක්‍රියාත්මක දේ පිළිබඳ දැනුම් දීමක් කළෙමි. දිගු දුරකථන ඇමතුමක් දක්වා යොමුවුණු ඔහුගේ ප්‍රතිචාරය අවසානයේ දැඩි ඉල්ලීමකින් කෙළවර විය.

“මචං, උඹල මේව ලියන්න ඕනෙ!”

කොතලාවල පනත නමින් ගෙවුණු දින කිහිපය තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති කළ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව රට තුළ දැඩි විරෝධයක් නැගී ආවේ ගෙවුණු සති කිහිපය තුළ ය. ඒ හා සමාන්තරව, වසර 23ක් මුළුල්ලේ විසඳී නොපවතින ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් ද ගුරු සංගම්වලින් දැඩි විරෝධතා නැගෙනු පෙණින. එහි ආසන්නතම ප්‍රතිඵලයක් වූයේ, එයට එරෙහිව පාර්ලිමේන්තුව අභියස විරෝධතා දැක්වීමකට පැමිණි දේශපාලන සහ වෘත්තීය සමිති නායකයින් ඇතුළු කණ්ඩායමක් අත් අඩංගුවට ගැනීමයි; අනතුරුව ඔවුන් උසාවි නියෝගයක් හෝ සෞඛ්‍ය නීතියක් හෝ පදනම් නොකොටගෙන, නිරෝධායනය සඳහා යැයි කියා රටේ විවිධ බැහැර ප්‍රදේශවල ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමයි. විරෝධයට එක් වුණු, වයස්ගත මවක් සහ භික්ෂුන් වහන්සේ නමක් කුදලාගෙන යාමෙන් පොලිසිය කෙරෙහි ද දැඩි පිළිකුලක් බොහෝ පාර්ශව වෙතින් එල්ල වූයේ, ප්‍රතිඵලය ලෙස දක්නට ලැබුණේ රට පුරා විවිධ ආකාරයේ විරෝධතා නැගී ඒමයි. දැන් එය එහි උච්චස්ථානය කරා යොමුවෙමින් තිබේ.

එක් අතෙකින් රටේ අගනුවර ඇතුළු බොහෝ නගර මුල් කරගනිමින් විරෝධතාදිය ය. තවත් පසෙකින් පාලක පක්ෂයේ දේශපාලකයින් හා ඔවුන්ගේ අනුගාමිකයින් මේ විරෝධතාකරුවන්ට එල්ල කරන විවේචන ය.

ඒ හා සමග මගේ මිතුරාගේ ඉල්ලීම දැන් මගේ හදවතින්ම නැගෙමින් තිබේ.

“උඹ දැන් ලියන්න ඕනෙ!”

මෙය තනි ලිපියක් නොවේ. අධ්‍යාපනය හා බැඳුණු අර්බුද හා ගැටළු මාලාවක් පිළිබඳ මගේ අත්දැකීම් හා අවබෝධය පදනම් කරගත්, සරල ලිපි කිහිපයකි. මම පාසැල් ගුරුවරයකු නොවන හෙයින් ඔවුන්ගේ වෘත්තීය ගැටළු පිළිබඳ අවබෝධය ලබා ගන්නේ ගුරුවරියක් වන බිරිඳ, ගුරු සේවයේ කටයුතු කරන මිතුරු මිතුරියන් ඇතුළු හා සංවාදයේ යෙදීමෙනි. විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකු වුවත්, සමස්ථ අධ්‍යාපන ක්ෂේත්‍රය හා බැඳුණු ගැටළු සම්බන්ධව ද මා අවබෝධය පුළුල් කරගන්නේ ඒ පිළිබඳව වන විවිධ මතිමතාන්තර විමසමිනි. ඒ හා සමග, කතා කළ යුතු මාතෘකා මහත් ප්‍රමාණයක් මගේ මනසට නැගී ඇත. ඒ මොනවාද?

·        අධ්‍යාපනය පිළිබඳ සමාජ, දේශපාලනික වශයෙන් ඇති දුරවබෝධයන්

·        අධ්‍යාපනය හා සබැඳෙන කරුණු අර්ථ ගැන්වීමේ දී මතුවන ගැටළු සහ ප්‍රතිවිරෝධයන්

·        අධ්‍යාපන ක්ෂේත්‍රය හමුවේ අසීමිත ලෙස බලපැවැත්වෙන දේශපාලනික මැදිහත්වීම්

·        සමස්ථයක් ලෙස මෙම අර්බුද නොතකා හැරීම හේතුවෙන් අනාගත පරපුර ඇද වැටීමට නියමිත අගාධයන් පිළිබඳ සමාජය දක්වන බිහිසුණු නිහැඬියාව

මා මෙම ලිපි මාලාව තුළ සාකච්ඡා කරන්නට අදහස් කරන්නේ ඉහත සඳහන් කලාප හා බැඳී එන කරුණු පෙළකි. ඒ සියල්ලට පෙර මා මෙම ලිපිය සඳහා ප්‍රවේශයක් ලබා ගනිමින් සඳහන් කළ උදාහරණ දෙක ගැන පමණක් ලියා ඉදිරි ලිපිය තෙක් විරාමයක් ගන්නට මට අවසර දෙන්න.

විදේශයක වෙසෙන, මගේ මුල් මිතුරා මට ‘මචං, උඹල මේව ලියන්න ඕනෙ!’ කීවේ ඇයි?

සැබවින්ම අපට පෙනී ගියේ, සාමාන්‍යයෙන් මෙවැනි තත්වයන් හමුවේ අපැහැදිලි කලාප හමුවීම සිදු විය හැකි වුවත්, පාසැල් අධ්‍යාපනය හමුවේ ක්‍රියාත්මක වෙමින් පැවති වැඩ සටහන් පෙළ, දරුවන්ටත් ගුරුවරුන්ටත් අතිශය අහිතකර පසුබිමක් වෙත දිවෙමින් තිබුණු බවයි (ඒ අද මෙය පළ කෙරෙන මොහොතේ හමුවන වෘත්තීය ගැටළුවලට පෙරාතුව දේ ය.). එනම්, පළමු උදාහරණයේ දී වෛද්‍යවරයා නගන පැනය විශ්ලේෂණය කිරීමේ දී පෙනී ගියේ වසංගතය හමුවේ පාසැල් අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු එකමිතික වැඩසටහනක් නොවන බවයි. මහ රජය යටතේ වන අධ්‍යාපන අමාත්‍යාංශයත්, එක් එක් පළාත් අධ්‍යාපන ආයතනත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පාසැල් ගුරුවරුන් ඔන්-ලයින් ඉගැන්වීම් සඳහා යොමු කර තිබුණත්, දරුවන්ට ඒ සඳහා දැනුම් දී තිබුණත් ඒවා අතර එකමිතියක් තිබෙන බවක් නිරීක්ෂණය කළ හැකි වූයේ නැත. පහසුකම් ඇති දරුවන් සිටින ඉහළ ඇගයුම් සහිත පාසැල්වල දරුවන්ට ලැබෙන ඔන්ලයින් අධ්‍යාපනයත්, දුරබැහැර පාසැල්වල පහසුකම් විරහිත පරිසරවල දරුවන් ලබන ඔන්ලයින් අධ්‍යාපනයත් එක කෝවක තබා සාමාන්‍ය පෙළ දී හෝ උසස් පෙළ දී නැතිනම් ශිෂ්‍යත්වයක දී හෝ මැන බලන්නේ කෙසේ ද?

ඒ වෙනුවෙන් හැකි තරම් සමාන තත්වයන් ගොඩ නැගීමට කටයුතු කළ යුතු වුවත්, බලධරයින් කටයුතු කරමින් තිබුණේ සහ තිබෙන්නේ පැලැස්තර අලවන ස්වරූපයකින් මෙන්ම ධූරාවලිය තව දුරටත් පුළුල් වන ස්වරූපයකිනි. සමාන්තරව, කිසිදු එකමිතියක් නැති, දරුවන් මංමුලා වන ස්වරූපයකිනි. මා එසේ කියන්නේ ඇයි?

වසංගතයේ දෙවැනි රැල්ලත් සමග පාසැල් වසා දැමුණු ක්ෂණයකින් ඉහළ අධිකාරීන්ට අධ්‍යාපනය සම්බන්ධ ඉදිරි වැඩසටහන් පිළිබඳ සාකච්ඡා ආරම්භ කළ හැකිව තිබිණ. දිවයින වැඩි වශයෙන් ආවරණය කෙරෙන ජාතික රූපවාහිනිය හෝ ස්වාධීන රූපවාහිනියත්, ජාතික ගුවන් විදුලියත් සහභාගී කරගනිමින්, සිසු සිසුවියන් සිග්නල් සොයමින් ගල් කුළු, වහලවල් සහ රූස්ස ගස් මත නොනංවන අධ්‍යාපන වැඩ සටහන් මාලාවක් සකස් කළ හැකිව තිබිණි. නමුත් ඒ වෙනුවට සිදු වූයේ උජාරුව පෙන්වන්නට මෙන්, සිග්නල් ආවරණ කලාප පිළිබඳව හෝ ගුරු සිසු මැදිහත්වීමේ හැකියාවන් පිළිබඳ කිසිදු තක්සේරුවකින් තොරව, ‘ඔන්ලයින් අධ්‍යාපන වැඩ’ පටන් ගැනීමයි. ඒ ද ඇරඹුණේ සැලකිය යුතු නිහැඬියාවකින් පසු ය. වසංගතය පිළිබඳ පැණි, මුට්ටි පා කිරීම් ඇතුළු සියලු මිත්‍යාවලින් අනතුරුව විද්‍යාව (අවබෝධයකින් තොරව හෝ) පිළිබඳ විශ්වාසය තබා ඇති පාලක ‘එකමුතුව’ සිදු කරන එකකට එකක් අසම්බන්ධිත ක්‍රියා අතරතුර නාලිකා ද දැන් පැමිණ තරගයට සිසු පරපුරට දැනුම බෙදා දීම අරඹා ඇත. ඒ අනුව, චැනල් අයි වැඩ පටන් ගන්නේ පාන්දර 4ට ලු! සෙසු විවිධ නාලිකා ද වැඩ එක් එක් වේලාවල අරඹනු ඇති! ඒ හා සමග, ගුරුවරුන්ගේ ඔන්ලයින් පාඩම් ද (මේ දිනවල වර්ජනය නිසා තාවකාලිකව නැවතී තිබුණත්) විදුහල්පතිවරන්ගේ, කලාප අධ්‍යක්ෂවරුන්ගේ, පළාත් අධ්‍යක්ෂවරුන්ගේ, අධ්‍යාපන ලේකම්වරුන්ගේ, රාජ්‍ය ඇමතිවරුන්ගේ හරහා අවසන අධ්‍යාපන ඇමතිගේ ‘මෙහෙයවීම හා අධීක්ෂණය’ යටතේ ටක්කෙටම සිදු වෙමින් පවතී. ඉඳහිට දරුවකු හෝ දැරියක ගලක් පල්ලේ ලිස්සා තිබුණ ද, අලි ප්‍රහාරවලට බිය වී සැඟවී තිබුණ ද අධ්‍යාපනය නැවතී නැත!!

ඉහත ඇත්තේ ඉතා සරලව තත්වය දැක්විය හැකි එක් ස්වරූපයකි. අධ්‍යාපනය පෙවීමට තරගයට බැස ඇති අධ්‍යාපන ඇමතිවරයා ප්‍රමුඛ පාලනාධිකාරිය, පළාත්, කොට්ඨාශ ඇතුළු මෙහෙයුම් මධ්‍යස්ථාන, ඒ හමුවේ අසීරුවෙන් හෝ කුමක් හෝ කළ යුතු තත්වයකට පත්ව සිටින ගුරු-විදුහල්පති ප්‍රජාව, ජාතික හා ප්‍රාදේශීය රූපවාහිනී හා ගුවන් විදුලි නාලික‍ා, නාගරික මට්ටම්වල සිට වසංගතයේ පිහිටෙන් රටම ආවරණය කරන්නට පැනගෙන ආ ටියුෂන් මුදලාලි පන්තිය, යළි මේ සියල්ල අප කළතා පෙරා ඇති බව කියමින් යූටියුබ් නාලිකා ද සදා දෙන ජාතික අධ්‍යයන ආයතනය ඇතුළු කිසිවක් හෝ කිසිවෙක් තමා අභියස සිටින දරුවා මේ ගලා එන අපැහැදිලි රැල්ලෙහි ගිලී යන ආකාරය විමසිල්ලට ගෙන ඇතැයි යන්න මා නම් විශ්වාස කරන්නේ නැත.

ඉදින්, එහෙයින්ම, මා මේ ලිපි පෙළෙහි ආරම්භක සටහන මෙතැනින් කෙළවර කරන්නේ ලිපි කිහිපයකින් සාකච්ඡාව පෙරට ගෙන යන රිසියෙනි.

ඉදිරියට....

 

No comments:

Post a Comment