
බංග්ලා දේශය නමැති නව රාජ්‍යය නිර්මාණය කරමින්
ඉන්දියාවෙන් වෙන්ව නැගෙන බෙංගාලයේ නැගෙනහිර භූමිය ජීවිත කාලයක් මුළුල්ලේ තමන් උපත
ලබා, හැදී වැඩුණු බිමක අයිතිය මිනිස් කණ්ඩායමකට අහිමි කළේ ය. ඒ කණ්ඩායමක
සාමාජිකයකු වන ඝටක්, ඉන්දීය මහා සිනමාකරු රායි නිසාවෙන් වැසී ගිය ප්‍රබල සිනමා
කතුවරයෙකි. සිය දිගු සිනමා ගමන තුළ ඔහු නිමවූ සිනමා පට සියල්ලම පසුපස අනන්‍ය සමාජ
සංස්කෘතික භූමිය අහිමි කළ වින්දිතයාගේ වේදනාව දැඩිව තැවරී තිබේ. නීතාගේ ශෝචනීය වත
අපට මුණගැසෙන්නේ ඒ හැගුම්බර සිනමා ප්‍රකාශන අතර ඉහලින්ම ලියැවුණු ‘මෙගා ධක තාරා‘
සිනමා පටය තුළදී ය.
දේශ සීමා බෙදී වෙන්වීම හේතුවෙන් සරණාගතයින් ලෙස
කල්කටා නගරයට ආසන්න බිමක ජීවත් වන්නට සිදුවන නීතාට සිය පවුලේ සාමාජිකයින්ගේ
කුසගිනි නිවන්නට සිදු වෙයි. ඇයගේ පියා විශ්‍රාමික ගුරුවරයෙකි. වියපත් මව නිවසේ අහර
සරිකරන්නියයි. වැඩිමල් සොයුරු ගායකයකු වීමේ විසල් ආසාවකින් මඩනා ලදුව, රැකියාවක්
සොයන්නට වෙහෙස නොවී කටහඩ අභ්‍යාසවල යෙදෙයි. ක්‍රීඩකයකු වීමේ උනන්දුවකින් පෙළෙන,
කම්කරු රැකියාවක නිරත වන බාල සොහොයුරු, රූපය මුල් තැනෙහි තබන නැගණිය මෙන්ම අනාගත
අපේක්ෂා හේතුවෙන් නීතා හැරදමා නැගණිය විවාකරගන්නා පෙම්වතා නීතාගේ දිවියෙහි කටොළු
තව දුරටත් තීව්‍ර කරන්නට පසුබිම් සාදන්නෝ වෙති. අධ්‍යාපනය, ප්‍රේමය, ජීවිතයේ සතුට
සහ නිදහස යන සියල්ලම සිය පවුල වෙනුවෙන් කැප කරමින්, අනේක ගැහැට විදිමින් නීතා
වෙහෙස වන්නේ ස්වාත්මය නොලබන සංතුෂ්ටියක් පවුලේ සෙසු සාමාජිකයන්ට ළගා කර දෙන්නට ය.
නීතා ‘මෙගා ධක තාරා‘
නාමාර්ථය තහවුරු කර දෙන වළාකුළින් වැසී යන තාරකාවයි. චිත්‍රපටයේ ආරම්භයේ අපට
හමුවන, ඇයට ආදරය කරන ඇගේ පියා අතරමගදී රෝගියකු බවට පත් වෙයි. බාල සොයුරාගේ ආදායම්
ද බිඳ වැටෙද්දී ‘බත් පත දිනා
දෙන්නිය‘ නිවසින් බැහැර වේය යන අම්මාගේ ‘ආත්මාර්ථකාමී‘ සිතුවිල්ල ඇයට පෙම්වතා
අහිමි කරන්නට මග විවර කර දෙයි. ඔහු දිනාගන්නී ඇයගේම දගකාර නැගණියයි. ගායක
සිහිනයෙන් ගම හැර යන, නමුත් සිය සොහොයුරියගේ අසීමිත කැපවීම හදුනාගෙන සිටි වැඩිමහල්
සොයුරා ගායකයකු ලෙස යම් පිළිගැනීමක් ලැබ ගමට යළි පා තබද්දී දකින්නේ, සියල්ල අවසන්
වූ පසු, ක්ෂය රෝගියකු වීම නිසා නිවසේ මායිමකට තල්ලු කෙරුණු නීතා ය. එවකට පිළියම්
විරහිත රෝගයක් ලෙස පිළිගත් ක්ෂය රෝගය අවසානයේ ඇයට බල කර සිටින්නේ කඳුකර සාත්තු
නිවාසයක් වෙත යන්නට ය. ඒ මරණය පැමිණෙන තෙක් රැඳෙන්නට මිස වෙන යමකට නොවේ.
නීතා ජීවිතය ඉල්ලන්නේ එතැන දී ය.
සිය ජීවන මංපෙත් වැටී
සැදුණු බිමකින් යමෙකු ඈත් කර තැබීම ඔහුට හෝ ඇයට මරණීය වේදනාවක් ගෙන දෙන්නට ඉඩ ඇති
දෙයකි. ඒ විසල් වේදනාව සමගින් දිවි ගෙවූ ඝටක් නීතා ඇතුළු සිය සිනමා චරිත හරහා ඒ
වේදනාව අප වෙත යොමු කර දැක්වී ය. සිනමාව ජීවිතය විඳින්නට මතු නොව විඳවමින් ගත කරන්නට සිදු ව
ඇති ජීවිතවල ගැහැට ගැන යළි සිතා බලන්නට අප යොමු කරන්නට හැකි මෙවලමක් බව පෙන්වූ
සිනමාකරුවන් අතරින් අයෙකි ඝටක්. නීතාගේ ඉල්ලීම හුදෙක් ක්ෂය රෝගය නිසා දිවි මග හැර
යන්නට බල කළ තරුණියකගේ ඉල්ලීම තුළට සීමා නොවී, මියයමින් ජීවත් වන්නට සිදුව ඇති මහා
මිනිස් සයුරක වේදනාබරිත ඉල්ලීමක් වන්නේ එබැවිනි.
ඔව්, සිනමාව ජීවිතය
වෙනුවෙනි! ඒ ඉල්ලා හඬා වැටෙන මිනිසුන් ද
වෙනුවෙනි!!
-
ප්‍රියන්ත ෆොන්සේකා -
No comments:
Post a Comment