Thursday, October 6, 2016

එකෙකුවත් අඩු නැතිව! (ජීවිත සිනමාව - රිවිර සිනමා කොලම -4 )




චීනයේ අතිදුෂ්කර පෙදෙසක පිහිටි ෂුයිකුවාන් ගම්මානයේ ඇති කුඩා පාසලක සිටින එකම ගුරුවරයාට හදිසි කටයුත්තකට මසක පමණ නිවාඩුවක් ලබා ගන්නට අවශ්‍ය වේ. පාසැලේ කටයුතු බලා ගන්නට කිසිවකුත් නොමැති තැන ගම්මුලාදෑනියා ඒ සඳහා කැඳවාගෙන එන්නේ පාසැලේ දරුදැරියන්ට වඩා තරමක් වයසින් වැඩි, දහතුන් වියැති, වෙයි මින්ෂි නමැති දැරියයි. ඉගැන්වීමට ඒ තරම් දේ නොදන්නා ඇය, මසක් අවසානයේ ලැබෙන බවට පොරොන්දු වූ මුදල වෙනුවෙන්, පෙළ පොත්වල ඇති කරුණු යළි පිටපත් කරවමින් ද, තමන්ගේ මතකයේ ඇති එකම ගීය ඔවුන් වෙත කියා දෙමින් ද පාසැල පවත්වාගෙන යයි. එහෙත්, සියල්ලටම වඩා, ඇය දැඩිව රකින්නට යත්න දරන්නේ ස්ථිර ගුරුවරයා පිටව යන්නට මත්තෙන් දැඩිව අවධාරණය කළ කරුණකි.

වෙයි මින්ෂි, උඹ දරුවන්ව හොඳට බලාගන්න ඕන. දහදෙනෙකුට වැඩියෙන් දැනටමත් යන්න ගිහිල්ල. මට තවත් උන් නැති කරගන්න ඕනෙ නැහැ. ගම්මුලාදෑනිය උඹට යුවාන් පණහක් පොරොන්දු වුණා; ඒක උඹට දෙන බව එයා සහතික වුණා. මම එනකොට මේ දරුවො සේරම ඉතිරි වෙලා හිටියොත් - එකෙකුවත් අඩු නැතිව - උඹට තවත් යුවාන් දහයක් ලැබේවි

සිනමා පටය දිගහැරෙන්නේ ‘එකකුවත් අඩු නැතිව‘ යළි පාසැල ස්ථිර ගුරුවරයා වෙත භාරදීම සඳහා වෙයි මින්ෂි දියත් කරන අරගලය ඔස්සේ යමිනි.

චීන සංස්කෘතික විප්ලව සමයේ වසා දැමුණු බීජිං සිනමා පාසැල 1978දී යළි විවෘත කෙරුණු පසු ඉන් පිටවන මුල්ම උපාධිධරයින්ගෙන් අයෙකු වන, චීන පස්වන පරපුරේ සිනමාකරුවන් අතර ප්‍රමුඛ නාමයක් හිමි ෂැං යිමෝ, ඉහත ‘වෙයි‘ගේ කතාවේ කතුවරයා ය. ඔහු තැනූ අසිරිමත් සිනමා පට අතුරින් Not One Less (‘එකෙකුවත් අඩු නැතිව‘) යනු 2000  වර්ෂයේදී නිර්මාණය කෙරුණු, වෙයි සහ ඇයගේ ‘ශිෂ්‍ය ශිෂ්‍යාවන්‘ පිරිසගේ පුවත රැගත්, චීනය මතු නොව ආසියාකරයේත්, අඩු වැඩි වශයෙන් ලෝකයේත් අධ්‍යාපන විෂමතාවන් පිළිබඳ විවරණයක් වන අතරම මානව සබඳතා විෂයයෙහි අපූර්ව සංවේදී සිනමා වියමනක් ද වේ.

කුඩා ගුරුතුමිය වූ ‘වෙයි‘ගේ අධිෂ්ඨානය කෙසේ වුවත්, දුප්පත්කම බොහෝ පාසැල් දරුවන්ගේ අධ්‍යාපනයට බාධා එල්ල කරයි. වගා බිම් වපුරන සමයේ ඒ කටයුතුවලට සහාය දීමටත්, රෝගී මාපියන්ගේ ජීවන දුෂ්කරතා මග හැරවීමටත් පාසැල් සිසු-සිසුවියෝ පාසැල හැර දමා යන්නට යත්න දරති. ඒ තත්වයන් මත හෝ දිවීමේ දස්කම නිසාම නගරයේ ක්‍රීඩා පාසැලට ශිෂ්‍යත්වයක් ලබා දී රැගෙන යන කුඩා දැරියගේ හෝ වෙන්වීම පිළිගන්නට ‘වෙයි‘ සූදානම් නැත. ශිෂ්‍යත්වයක් දිනන ක්‍රීඩාශූරී දැරිය සඟවා තබමින් ද, නිවෙස්වල බලපෑමෙන් නතර වන සිසු-සිසුවියන් සොයා මාපියන් වෙත ඇවිද යමින්ද ‘වෙයි‘, එකෙකු වත් අඩු නැතිව පාසැල යළි භාර දීමට සියලු වෙර දරයි. එහෙත්, විටෙක සාර්ථක නොවන ඇගේ ක්‍රියාදාමය එහෙම පිටින්ම වාගේ බිඳ වැටෙන්නේ, ඇය පාසැලේ ‘උගැන්වීම‘ ඇරඹූ දින පටන්ම සියලු පාසැල් කටයුතුවලට බාධා එල්ල කළ ‘කරදරකාර‘ කුඩා ෂැන්ග් පාසැලට නොපැමිණීමත් සමගම ය.

සිය රෝගී මවගේ යොමු කිරීම මත ෂැන්ග් රැකියාවක් සොයා ෂැන්ග්ජියාකොව් නගරය වෙත ගොස් ඇති බව දැනගන්නා ‘වෙයි‘ සියලු පාසැල් දරුවන්ගේ සහාය ඇතිව ඔහු සොයා යෑමේ මෙහෙයුමක් අරඹයි. ආරම්භක දිනයේදීම ‘වෙයි‘ ගුරුතුමියක නොව ‘අක්කා‘ කෙනෙකු බව කියමින් ඇය ප්‍රතික්ෂේප කළ පාසැල් දරු පිරිස එකාවන්ව ඇය හා බැඳෙමින්, ෂැන්ග් සොයා නගරයට යන්නට ‘වෙයි‘ට අවශ්‍ය මුදල් සොයන්නට ගඩොල් වැඩපළක ද සේවය කරමින් සිදු කරන ක්‍රියාකාරකම් මාලාව, විටෙක ළමා වියේ අව්‍යාජත්වය හරහා ද, විටෙක අවිධිමත් අධ්‍යාපනයේ අපූර්වත්වය හරහා ද, ඒ සියල්ලටම වඩා මිනිසත්කම පිළිබඳ ගැඹුරු සංවේදනා සහිත රූපමය වියමනක් හරහාද තිරයේ චිත්‍රණය වෙයි.

දුෂ්කර මගක් පාගමනින් ගෙවා ෂැන්ග්ජියාකොව් වෙත එන වෙයි, දහස් සංඛ්‍යාත මිනිසුන් අතර ඇවිද යමින් ෂැන්ග් විමසන්නේ, නගරය ඇමතිය හැකි රූපවාහිනිය සිය ඇමතුම් මග ලෙස හඳුනාගනිමින් ප්‍රධාන නාලිකාවක කාර්යාල දොරටුව වෙත පියනගා එහි ප්‍රධානියා මුණගැසෙනු වස් වරු ගණනක් එතැන රැඳෙයි.

චිත්‍රපටය කෙළවර වන්නේ සජීවී විකාශයක් හරහා කඳුළු සළමින් තමන් අමතන වෙයි දකින ෂැන්ග් ඇය හා එක්ව, තෑගි භෝග රැසක් හා ටෙලිවිෂන කැමරා පිරිවරාගෙන ගමට යළි පැමිණීමෙනි. ෂැන්ග් යළි පැමිණිය ද දහස් ගණනක් දරුවන් තවමත් චීනයේදී ප්‍රාථමික අධ්‍යාපන සමයේදීම පාසැල් හැර යමින් ළමා ශ්‍රම හමුදාවට එක්වන බව අවසන් නාමාවලියට පෙර ෂැන්ග් යිමෝ තිරයේ ලියයි.

‘එකෙකුවත් අඩු නැතිව‘ දරුවන් පාසැලේ තබා ගැනීම ‘වෙයි‘ගේ සිනමා තිර විරුකමින් ගැලවී අපගේ ජීවන පැවැත්ම වෙත සම්ප්‍රේෂණය වන්නේ ඒ හා සමගිනි.

-ප්‍රියන්ත ෆොන්සේකා -       

1 comment:

  1. මේ චිත්‍රපටය නරඹලා නැහැ, හොයාගෙන නරඹන්නම් ස්තූතියි තොරතුරට.

    ReplyDelete