Friday, October 14, 2016

හුස්ම (ජීවිත සිනමාව - රිවිර සිනමා කොලම -5 )


මහල්ලකු වන විෂාරේ මහා රාෂ්ටයේ ඈත දුෂ්කර ගම්මානයක සිට සිය අට හැවිරිදි මුණුපුරා වන පර්ෂුරාම්, නැතිනම් සුරතල් වදනින් ඇමතෙන පර්ෂා, සමග බොම්බාය නගරයට පැමිණෙයි. ඔහු අත වන්නේ සිය මුණුපුරාගේ ඇස් විශේෂඥයකු වෙත පෙන්වීම සඳහා ගම් පෙදෙසේ වෛද්‍යවරයකු වෙතින් ලද තුණ්ඩු කැබැල්ලකි. නගරයට කෝඩුකාරයින් වන ඔවුන් දෙදෙනා සමග තනි නොතනියට එන, පර්ෂාගේ මාමා කෙනෙකු වන, දිවාකර් නැමති තරුණයා ද ඔවුන් සමග වෙයි. නගරයේ ජනාකීර්ණ රෝහලක සිටින අක්ෂි විශේෂඥ සානි පර්ෂාගේ ඇස් පරීක්ෂා කොට ලැබෙන වාර්තා කෙළවර ඔහු වහා ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බව තීන්දු කරයි. ජීවිතයේ කිසිදු දිනක මුහුණ නොදුන් අර්බුදයකට මහලු විෂාරේ මුහුණ දෙන්නේ ඒ හා සමග ය. ඒ පර්ෂාගේ ජීවිතය රැකෙන එම ශල්‍යකර්මය ඔහුට දෙනෙත් අහිමි කරවන්නක් බව ඇසීමෙනි. රෙටිනොබ්ලාස්ටොමා නැමති කලාතුරකින් හමුවන අක්ෂි පිළිකාවක් පර්ෂාගේ ඇස් ආක්‍ර‍මණය කොට ඇත.

භාෂා 26කින් සිනමා නිර්මාණ හමුවන ඉන්දියාවේ මහා රාෂ්ට ප්‍රාන්තයෙන් එන මරාති සිනමාවට අයත් ‘ෂ්වාස්‘ (Shwaas) නැතිනම් 'හුස්ම' නම් ලබන චිත්‍ර‍පටය සන්දීප් සවාන්ත් නැමති නිර්මාණකරුවාගේ පළමු නිර්මාණයයි. කෝටි ගණනින් වැය කොට නිපදවෙන දැවැන්ත සිනමා නිර්මාණ සියල්ල අභිබවමින් 2004 වර්ෂයේ ඔස්කාර් සම්මාන උළෙලේ ඉන්දීය නියෝජනය සඳහා වරම් ලබන්නටත්, එහිදී හොදම විදේශ භාෂිත චිත්‍ර‍පටය සඳහා වන ලැයිස්තුවේ සයවන තැන ලබන්නටත්, ඉතා අඩු මිලකින් නිපදවෙන, ප්‍රාන්ත සිනමාවකින් ආ ‘ෂ්වාස්‘ සිනමා කෘතිය අවස්ථාව හිමි කරගන්නේ ජීවිතය පිළිබඳ ඒ හෙළිකරන විශිෂ්ඨ රූප සන්ද්වනියේ ඇති පොහොසත්කම හේතුවෙනි.

වෛද්‍ය සමාජ සේවිකාවක ලෙස කටයුතු කරන, නාගරික තරුණියක වන, ආශාවරීගේ කරුණාබර මග පෙන්වීම හා පහදා දීම හේතුවෙන් පර්ෂාගේ ජීවිතය මුහුණ දී ඇති අනතුර වටහා ගත්ත ද, නෙත් අඳ කොලු පැටියකු බවට පත්වන්නට නියමිත සිය මුණබුරු සුරතලාගේ හෙට දිනය පිළිගන්නට නොහැකිකමින් මහලු විෂාරේ හඬා වැටෙයි. ගම්මානයේ වෙසෙන පර්ෂාගේ ආදරණීය මවට සත්‍යය හෙළි කළ නොහැකි වීමත්, නන්නාඳුනන නගරයක දී පිළිගන්නට අපහසු යථාර්ථයක් හමුවේත්, කිසිවක් නොවැටහෙන පර්ෂාගේ සුරතල් දඟකාරකම් හමුවේත් උභතෝකෝටිකයකට මුහුණ දෙන විෂාරේ ඒ හිත පෙළන සත්‍යය පිළිගත හැකි මගක් නොමැතිව අසරණ වෙයි. සියල්ලටම වඩා ඔහු පෙළන්නේ ශල්‍ය කර්මය තෙක් සතර වටින් වට කළ කුඩා වාට්ටුවක පර්ෂා නතර කළ පසු ඔහු දිගින් දිගටම ආලෝකය සහ ලෝකය දකින්නට සිදු කරන පෙරැළිය හමුවේ ය.

‘ෂ්වාස්‘ චිත්‍ර‍පටයේ තීරණාත්මක අවසානය එළැඹෙන්නේ හිටිවනම අතුරුදන් වන විෂාරේ සහ පර්ෂාගේ පිළිබඳ තොරතුරක් නොමැතිව තරුණ දිවාකර් අසරණව වැළපීමත් සමගම ය. ආශාවරී, වෛද්‍ය සානි ඇතුළු විෂාරේ සහ පර්ෂා හඳුනන්නන් පළමුවත්, සමස්ථ රෝහල දෙවනුවත් මේ අතුරුදන් වීම හේතුවෙන් දැඩිව කලබල වේ. සිය සෙනෙහෙබර මුණුපුරාගේ ඛේදනීය අනාගතය පිළිගත නොහී ඔහු ද සමග විෂාරේ දිවිනසාගන්නට ඇතැයි යන සිතුවිල්ල එකිනෙකා අතර අප්‍ර‍කාශිත හැඟීමක් ලෙස නැගී එයි.

‘ෂ්වාස්‘ සිනමා කෘතියේ අවසන් දර්ශන පෙළ, ජීවිතය යනු කවර කටුක යථාර්ථයන් හමුවේ වුව අත්හැර දැමිය නොහැකි හා අත්හැර දැමිය නොයුතු දෙයක් බවත්, ඒ යථාව සමග ගණුදෙනු කිරීම වඩා අනගි ක්‍රියාව බවත් අපට පසක් කර දෙන්නට සහාය දක්වන රූප එකතුවකි. ගිනිගත් රෝහලත්, කෝපයට පත් වෛද්‍යවරයාත් අභියස සතුටින් පිරී සිටින පර්ෂා සමග නිසලව පෙනී සිටින්නේ මහලු විෂාරේ ය. වෛද්‍යවරයාගේ කේන්තිය හමුවේ ඔහු ලබා දෙන පිළිතුර ඔහු මතු නොව තිරයෙන් මෙපිට සිට නෙත් දල්වා බලා සිටින අප සැම ක්ෂණිකව සලිත කරන්නට සමත් වෙයි.

දොස්තර මහත්තයෝ, පර්ෂා ලෝකෙ දකින්නෙ තව දවසයි දෙකයි... ඊට පස්සෙ අව්ව, වැස්ස, දේදුන්න, ගස් කොළ, පාට, ලස්සන මේ කිසි දෙයක් නැතිව එයාගෙ ලෝකෙ අඳුරු වෙනව... පර්ෂා අඳුරත් එක්ක ජීවත් වෙන්න ගනීවි... අපි දකින කිසි දෙයක් දකින්නෙ නැතුව එයා ජීවත් වේවි... මම පර්ෂා එක්ක ඇවිදින්න ගියා... හෙට එයාට දකින්න බැරි වෙන ගොඩාක් දේවල් මම එයාට පෙන්නුවා... අඳුර එන්න කලින් මම එයාට පෙන්නුවා ලෝකය... එයාට ඉතිරි වෙලා තිබුණු අන්තිම පැය කීපය ඇතුළෙ දි මම එයාගෙ ඇස් රූපවලින් පිරෙව්වා...

2004 ඉන්දීය ජාතික සිනමා සම්මානය දිනා ගන්නේ ද ‘ෂ්වාස්‘ ය. එය අපට කියා දෙන්නේ ජීවිතයයි. ඉතා කුඩා වැයකින් නිර්මිත සිනමා කෘතියක රූප වියමන තුළ සැඟවූ අමිල හැඟවුම වූ, ජීවිතයයි.


-      ප්‍රියන්ත ෆොන්සේකා -

  

3 comments: